සුරේෂ් සලේගේ චෝදනාවලට නීතිපති අධිකරණයේදී දැක්වූ ප්‍රතිචාර මොනවා ද?

Suresh Sallay

ඡායාරූප මූලාශ්‍රය, ITJP

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 5

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ අත්අඩංගුවට ගනු ලැබුවේ, සාධාරණ සැකයක් උද්ගත වීමෙන් පසුව බවත්, මෙම විමර්ශනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ශානි අබේසේකර ද්වේශසහගත ආකාරයෙන් කටයුතු කළ බවට එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් නීතිපතිවරයා අද (අගෝ: 25) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ඉදිරිපත් කළ රිට් පෙත්සම ඊයේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන දෙදෙනාගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මෙම දැනුම් දීම සිදු කළා ය.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, "වගඋත්තරකාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මෙම පෙත්සම්කරු සම්බන්ධයෙන් ද්වේශසහගතව කටයුතු කරන බවට පෙත්සමෙන් චෝදනා එල්ල කර තිබුණා. ඒ චෝදනාව සම්පූර්ණයෙන් ම පදනම් විරහිත යි, ස්වාමීනි. මෙම විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරුණේ, පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුව යි. එහි විමර්ශන ආරම්භ වුණේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ මංගල දෙහිදෙණිය මහතාගේ කාලයේදී. එම අවස්ථාවේදී ශානි අබේසේකර එහි සිටියේ නැහැ. මෙම පෙත්සම්කරුට විදේශගත වීම තහනම් කරමින් විදෙස් ගමන් තහනම ලබා ගත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හිමේෂා මුතුමාල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය වශයෙන් කටයුතු කළ අවධියේ. ඒ අනුව පැහැදිලි වෙනවා මෙම විමර්ශන සිදුවන්නේ ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමට පෙර සිට යි. ඒවගේ ම පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් චෝදනා කළා විමර්ශන කොමිෂන් සභා කීපයකින් වගඋත්තරකාර ශානි අබේසේකර මහතාට එරෙහිව චෝදනා එල්ල කර තිබූ බවට. ඒක සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරනවා ස්වාමීනි. ජනක් ද සිල්වා කොමිසමේ පොලිස් නිලධාරින් ගණනාවකට එරෙහිව නිර්දේශ නිකුත් කර තිබුණා. විනය පරීක්ෂණ සිදු කරන ලෙසත් නිර්දේශ කර තිබුණා. ඒත් ඒ අතර කිසිම ස්ථානයක ශානි අබේසේකරගේ නම සඳහන් වී නැහැ," යනුවෙන් සඳහන් කර සිටියා ය.

වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය මෙසේ ද පැවසීය.

"මෙහි පෙත්සම්කාර සුරේෂ් සලේ විමර්ශනවලට සහය ලබාදීමක් සිදු කරන්නේ නෑ. ඔහුගේ ඉලෙක්ට්‍රොනික උපාංග විවෘත කර ගැනීම සඳහා ඒවායේ මුර පද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා සිටියා. නමුත් ඔහු ඒවා ලබා දී නිසියාකාරව සහය දැක්වුවේ නෑ. මොක ද පාස්කු ප්‍රහාරයට ඔහුගේ තිබෙන සම්බන්ධය පිළිබඳව අනාවරණය කර ගැනීම සඳහා ඔහුගේ සන්නිවේදන උපකරණ පිළිබඳ විමර්ශන සිදුකිරීම අවශ්‍ය යි. වට්ස්ඇප් පණිවිඩ පිළිබඳව සොයා බැලීම අවශ්‍ය යි. නමුත් මේ පෙත්සම්කරු අවස්ථා හතරකදී එකිනෙකට වෙනස් මුර පද තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන්නේ. ඒ නිසා අවසානයේදී විමර්ශකයින්ට සිදු වුණා ඒ සඳහා අධිකරණ නියෝග ලබාගන්න. ඒ අනුව කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කළා විමර්ශනවලට අවශ්‍ය මුර පද ලබා දෙන්න කියලා. ඒ වගේ ම මේ පෙත්සම්කරු අධිකරණයට ඉදිරිපත් කළ තම පෙත්සම තුළින් කරුණු වසන් කිරීමක් සිදු කර තිබෙනවා. මෙම පෙත්සම්කරු පොලිසියට ලබා දුන් ප්‍රකාශයේ සඳහන් කර තිබුණා, මැලේසියාවේ සිට රාජකාරී අවසන් කර මෙරටට පැමිණීමෙන් පසුව සිය රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය විදේශ අමාත්‍යංශයට භාර දී ඉන්පසුව රාජකාරී විදේශ ගමන් බලපත්‍රයක් ලබාගත් බවට. නමුත් මෙම පෙත්සම සමග ඔහුගේ රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයේ තෝරා ගත් පිටු ඉදිරිපත් කර තිබෙනවා. මොහු පොලිසියට ලබා දුන් ප්‍රකාශයේ සඳහන් කර තිබුණා, එම රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය විදේශ අමාත්‍යංශයට භාර දුන් බවට. එසේ භාර දුන්නා නම් ඒවායේ තෝරා ගත් පිටු අධිකරණයට ඉදිරිපත් කරන්නේ කොහොම ද? මේක ඇත්තට ම කරුණු විකෘති කිරීමක්."

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය, "මෙම නඩුකරයට අදාළව අතරමැදි පෙත්සම් 13ක් ඉදිරිපත් කර තිබෙනවා. කාදිනල් තුමාගේ පෙත්සම හැර අනෙක් සියලු අතරමැදි පෙත්සම්වලින් ඉල්ලා තිබෙන්නේ පෙත්සම්කාර සුරේෂ් සලේ මහතා විසින් ඉල්ලා සිටින සහනය මෙම අධිකරණය විසින් ප්‍රදානය කල යුතු බව යි. සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ විමර්ශන කටයුත්තක් සඳහා යි. සාධාරණ සැකයක් මතු වීම හේතුවෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටිනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට මෙම පෙත්සම්කරුගෙ සම්බන්ධයක් පවතින බවට සෑහීමකට පත්විය හැකි සාධාරණ සැකයක් මතුවීම නිසා විමර්ශනයකින් විසින් පෙත්සම්කාර සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම සිදු කළා. එසේ තිබියදී සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම වැරදිසහගත ලෙස සිදුකර ඇති බවට අතරමැදි පෙත්සම්කරුවන් චෝදනා කරන්නේ කොහොම ද? අතරමැදි පෙත්සම්කරුවන් අතරින් සියයට 80ක් පමණ බෞද්ධ භික්ෂූන් වහන්සේලා. උන් වහන්සේලා සිය පෙත්සම්වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන ව්‍යවස්ථා උපුටා දක්වා තිබෙනවා. උන් වහන්සේලා සඳහන් කර තිබෙනවා, මෙම අත්අඩංගුවට ගැනීම හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට. මහජන ශුභසාධන නඩුකරයක් වශයෙන් සඳහන් කරමින් මෙම අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා. මේ තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් සඳහන් කර තිබෙනවා. මහජන ශුභසාධනය යන කරුණ රිට් නඩුකරවලට අදාළ කර ගත නොහැකි යි," යනුවෙන් සඳහන් කළා ය.

වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පැවසුවේ, "මෙම අතරමැදි පෙත්සම්කරුවන් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම තුළින් තමන් අගතියට පත්වූ ආකාරය පහදා නෑ. ඔවුන් පාස්කු ප්‍රහාරය තුළින් පීඩාවට පත් වූවන් නොවේ. මෙම අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබෙන නොම්රූ අවස්ථාවක යි. එමනිසා මෙම අතරමැදි පෙත්සම්වලට අදාළව නොතීසි නිකුත් නොකරන ලෙස මා ඉල්ලා සිටිනවා. මොක ද යම් හෙයකින් සුරේෂ් සලේගේ මුල් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ඔබ තුමාගේ අධිකරණය ඉදිරියේදී තීරණය කළහොත් මෙම අතරමැදි පෙත්සම් සඳහා නොතීසි නිකුත් කිරීමේ ඵලය කුමක් ද? එසේ වුවහොත් මුළු අධිකරණ ක්‍රියාදාමය අවභාවිතාවට ලක් වීමත් සිදුවෙනවා.

අත්අඩංගුවට ගැනීම් සම්පූර්ණයෙන් ම පුද්ගලයෙකුගේ පුද්ගලිකත්වයට බලපාන කටයුත්තක්. එය පොදු දෙයක් ලෙස අර්ථකථනය කළ නොහැකි යි. එය මහජන ශුභසාධනයට බලපාන කරුණක් ලෙස අර්ථකථනය කරන්න බැහැ. රිට් අධිකරණ බලය මහජන ශුභසාධන නඩුකර සඳහා යොදා ගන්න බෑ," යනුවෙනි.

ඉහත දැක්වූ කරුණු අනුව, මෙම අතරමැදි පෙත්සම් ඉවත දමන ලෙසත් නියෝජ්‍ය සොලිසියට ජනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා ය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම අතරමැදි පෙත්සම් විභාග කිරීම සඳහා නොතිසි නිකුත් කරන්නේ ද? නැද්ද? යන නියෝගය ඔක්තෝබර් මස 07 වන දා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළේ ය.

මේ අතර, සුරේෂ් සලේ විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම සැප්තැම්බර් මස 03 වන දා සිදු කරන බවත් අධිකරණ නියෝගයේ සඳහන් විය.