'යාච්ඤා කිරීමට පෙර අත්සන් කරන්න': ආගම්වලට හරවා ගැනීමට එරෙහි ඉන්දීය ප්‍රාන්තයක නව නීතියක් ගැන විවාදයක්

A Christian devotee prays in front of a statue of Jesus Christ during a Good Friday procession in Mumbai on April 3, 2026. (Photo by Indranil MUKHERJEE / AFP via Getty Images)
ඡායාරූප ශීර්ෂ වැකිය, ආගම්වලට හරවා ගැනීමට එරෙහි නව නීතියක් නිසා මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ක්‍රිස්තියානි ප්‍රජාව අතර බියක් වර්ධනය වෙමින් තිබේ
    • Author, ජාන්වී මූල් - බීබීසී මරාති සේවය, මුම්බායි සිට සහ සෝයා මතීන් - බීබීසී පුවත්, දිල්ලි සිට
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 8

ඉන්දියාවේ මූල්‍ය අගනුවර වන මුම්බායි සහ ඒ අවට ප්‍රදේශවල පිහිටි ඇතැම් දේවස්ථාන, බැතිමතුන්ගෙන් "මා මෙහි යාච්ඤා කිරීමට පැමිණියේ මගේ ම කැමැත්තෙනි" යනුවෙන් ලිඛිත ප්‍රකාශයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටීම ආරම්භ කර තිබේ.

මෙම ස්ථානවලට පැමිණෙන්නෝ තම නම සහ ඇතැම් විට හැඳුනුම්පත් අංකය ද සටහන් කර, දේවස්ථානයට පැමිණීමට කිසිවෙකු තමන් බලහත්කාරයෙන් හෝ පොළඹවා ගෙන නොමැති බව තහවුරු කරමින් අත්සන් තබති. බීබීසී නිරීක්ෂණය කළ මෙම පෝරමවලට කිසිදු නිල වලංගුභාවයක් නොමැත. යාච්ඤා රැස්වීමක් සම්බන්ධයෙන් ගැටලුවක් මතු වුවහොත් හෝ, එහි සංවිධායකයින්ට එම ස්ථානයේ සිටි පුද්ගලයින්ව වෙනත් ආගමකට හරවා ගැනීමට උත්සහ කළ බවට චෝදනා එල්ල වුවහොත් ඉදිරිපත් කිරීම සඳහා දේවස්ථාන විසින් මෙම පෝරම ලබා ගනු ලබයි.

මුම්බායි අගනුවර වන මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ආගම්වලට හැරීමට එරෙහි නව නීතිය බලාත්මක වීමටත් පෙර සිට ම, එනම් අගෝස්තු මස අගභාගයේ සිට ඇතැම් දේවස්ථානවල මෙම පිළිවෙත ආරම්භ විය.

බලය යෙදවීමෙන්, වංචාවෙන්, බලහත්කාරයෙන් හෝ පෙළඹවීම මගින් ආගම්වලට හරවා ගැනීම මෙම නීතිය මගින් තහනම් කර ඇත. එසේ ම, ස්වේච්ඡාවෙන් ආගම මාරු කර ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින් ඒ පිළිබඳව කල්තියා බලධාරීන්ට දැනුම් දීම ද අනිවාර්ය වේ. නීතිවිරෝධී ලෙස ආගමකට හැරීවීම හේතුවෙන් වසර හතක් දක්වා සිර දඬුවමක් නියම විය හැකි අතර, එම වරද නැවත සිදු කිරීමකදී එම දඬුවම වසර 10ක් දක්වා දීර්ඝ විය හැකි ය.

මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජය පවසන්නේ, බලහත්කාරයෙන් හෝ රැවටීමෙන් ආගම් මාරු කිරීමට පෙළඹවීමෙන් ජනතාව, විශේෂයෙන් ම සමාජයීය හෝ ආර්ථික වශයෙන් අවදානමට ලක්විය හැකි පුද්ගලයින් ආරක්ෂා කිරීමට මෙම නීතිය මගින් කටයුතු කරන බවයි.

මෙම නීතියේ අඩංගු පුළුල් අර්ථ දැක්වීම්, දැඩි දඬුවම් සහ ස්වේච්ඡාවෙන් ආගම් මාරු කිරීම් සම්බන්ධයෙන් පනවා ඇති පාලනයන් හේතුවෙන්, පෞද්ගලික ආගමික තීරණවලට මැදිහත් වීමට රජයට සහ පොලිසියට අවස්ථාව ලැබිය හැකි බව විවේචකයෝ පවසති. මේ පිළිබඳව අදහස් දක්වන ලෙස බීබීසීය කිහිප වරක් ම කළ ඉල්ලීම්වලට ප්‍රාන්ත රජය ප්‍රතිචාර දැක්වූයේ නැත.

මෙම නීතිය සියලු ආගම්වලට අදාළ වුව ද, සුළුතර ප්‍රජාවන්, විශේෂයෙන් ම ක්‍රිස්තියානි ප්‍රජාව අතර ඒ පිළිබඳව පවතින්නේ දැඩි කණස්සල්ලකි. ආගම් මාරු කර ගැනීම සඳහා පුද්ගලයින්ට බලපෑම් කිරීම හෝ විවිධ ප්‍රතිලාභ ලබා දීම සිදු කෙරෙන බවට දක්ෂිණාංශික කණ්ඩායම් විසින් නිතර ම එල්ල කරන චෝදනා මෙම විවාදයේ කේන්ද්‍රීය කරුණ වී තිබේ.

දෙව්දාන් ත්‍රිභුවාන් එම කණස්සල්ල සමීපව නිරීක්ෂණය කර තිබේ.

සිව්වන පරම්පරාවේ ක්‍රිස්තියානුවෙකු වන ඔහු, මුම්බායිහි ප්‍රජාවට නීතිමය ආධාර සපයන සංවිධානයක සාමාජිකයෙකි. මෑත කාලයේදී, අධිකරණ කටයුතු සම්බන්ධයෙන් නොව, බාධා එල්ල වූ යාච්ඤා රැස්වීම් පිළිබඳ විස්තර සහ තවදුරටත් නිදහසේ කළ හැක්කේ මොනවා ද යන්න පිළිබඳ ගැටලු රැගෙන මිනිසුන් වැඩි වශයෙන් තමන්ව හමුවීමට පැමිණෙන බව ඔහු පවසයි.

ඇතැමුන් විස්තර කර ඇත්තේ, ආගන්තුකයන් පල්ලියකට ඇතුළු වී එහි සිටින අයගෙන් මෙසේ ප්‍රශ්න කරන ආකාරයයි: "ඔබේ නම මොකක් ද? ඔබ මෙතැනට ආවේ ඇයි? කවුරු හරි ඔබට මොනවා හරි ලබා දුන්නා ද?"

A photo of the Mount Mary church in Mumbai's Bandra area from 12 March 2012. (Photo by Frédéric Soltan/Corbis via Getty Images)
ඡායාරූප ශීර්ෂ වැකිය, මුම්බායිහි පිහිටි ප්‍රසිද්ධ මවුන්ට් මේරි දේවස්ථානයට සියලු ආගම්වලට අයත් ජනතාව පැමිණෙති
Skip podcast promotion and continue reading
WhatsApp BBC News සිංහල
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"කිතුනු නමක් නොවන නමක් සහිත පුද්ගලයෙක් ඉද්දි ප්‍රශ්න වඩාත් තියුණු විය හැකි බව" ත්‍රිභුවවන් පැවසීය: "ඔබට මෙතැනට පැමිණෙන්න කියලා කවුරු හරි බල කළා ද? කවුරු හරි ඔබට මොනවා හරි දෙනවා කියලා පොරොන්දු වුණා ද?"

ඔහු සම්බන්ධ කරගන්නා බොහෝ දෙනෙකුගේ අරමුණ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම නොවේ. හුදෙක් යාච්ඤා කිරීම සඳහා එක්රැස් වීම, ආගමකට හැරීමේ චෝදනාවකට තමන් ගොදුරු විය හැකි තත්ත්වයක් නිර්මාණය කළ හැකි ද යන්න දැන ගැනීමට ඔවුහු කැමැත්තක් දක්වති.

අප්‍රේල් සිට ජූලි දක්වා කාලය තුළ මුම්බායි අවට ප්‍රදේශවල පැවති ක්‍රිස්තියානි යාච්ඤා රැස්වීම් පහක් බාධාවට ලක් කළ සිදුවීම් පිළිබඳව 'දි ඉන්ඩියන් එක්ස්ප්‍රස්' පුවත්පත ජූලි මාසයේදී කළ විමර්ශනයකින් අනාවරණය කර තිබිණි. මෙම සිදුවීම්වලින් පසු පොලිසිය නඩු නවයක් පවරා තිබිණි. ඉන් හතක් බැතිමතුන්ට හෝ යාච්ඤාව සංවිධානය කළ අයට එරෙහිව වූ අතර, දෙකක් හින්දු ජාතිකවාදී කණ්ඩායමක් වන 'බජ්‍රං දල්' සාමාජිකයින්ට එරෙහිව විය. නඩු හෝ ගත් ක්‍රියාමාර්ග පිළිබඳ සවිස්තරාත්මක ප්‍රශ්නවලට පොලිසිය ප්‍රතිචාර දැක්වූයේ නැත.

"යාච්ඤාවකට රැස් වෙන එක ආගමකට හරවා ගැනීමක් ද?" යනුවෙන් ත්‍රිභුවවන් විමසයි.

මුම්බායි නගරය සම්බන්ධයෙන් ගත් කල ත්‍රිභුවන්ගේ ප්‍රශ්නයට විශේෂ වැදගත්කමක් හිමි වේ. ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලින් මෙන් ම වෙනත් රටවලින් පැමිණි ජනතාවගෙන් මෙම නගරය ගොඩනැගී ඇති අතර, ඔවුහු තම තමන්ගේ ආගම් සහ සම්ප්‍රදායන් ද ඒ සමග රැගෙන විත් ඇත. මුස්ලිම් පල්ලියක යාච්ඤාවට කැඳවීමේ හඬ ඇසෙන අසල ම දේවස්ථානයක සීනු හඬ ද ඇසෙන අතර, විවිධ ආගම්වලට අයත් පුද්ගලයින් එක ම වන්දනා ස්ථානයක් වෙත පැමිණෙනු දැකිය හැකි ය.

විවිධ ආගම් අදහන ජනතාව වන හාජි අලි මුස්ලිම් පල්ලිය වෙත පැමිණෙති. නගරය දෙසට මුහුණලා පිහිටි කතෝලික බැසිලිකාවක් වන මවුන්ට් මේරිහිදී හින්දු භක්තිකයෝ ඉටිපන්දම් දල්වති. ගණේෂ් චතුර්ථි හින්දු උත්සව සමයේදී ලාල්බාග් අවට වීදි ජනතාවගෙන් පිරී යන අතර, වසර පුරා ම සිද්ධිවිනායක් කෝවිල වෙත ජනතාව ඇදී එති.

ආගම්වලට හැරීම සීමා කරන ප්‍රාන්ත දහයකට අධික සංඛ්‍යාවට අලුතින් ම එක්වූ ප්‍රාන්තය වන්නේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයයි. අදාළ නීති එකිනෙකට වෙනස් වුව ද, මෑත වසරවලදී, විශේෂයෙන් ම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය විසින් පාලනය කරනු ලබන ප්‍රාන්තවල එම නීතිවල බලපෑම පුළුල් වී තිබේ. ඉන් සමහරක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්වෙමින් පවතී.

එම ව්‍යාප්තිය පිටුපස හින්දු ජාතිකවාදී කණ්ඩායම් විසින් දිගු කලක් තිස්සේ කරන ලද ප්‍රකාශ තිබේ. කිතුනුවන් දුප්පත් සහ ගෝත්‍රික ප්‍රජාවන් හින්දු ආගමෙන් ඈත් කිරීම සඳහා මුදල්, පාසල් අධ්‍යාපනය හෝ වෛද්‍ය ප්‍රතිකාර භාවිත කරන බවත්, මුස්ලිම් පිරිමින් හින්දු කාන්තාවන් ආදරයෙන් රැකබලා ගන්නා බවත් එය "ලව් ජිහාඩ්" ලෙස හඳුන්වන කුමන්ත්‍රණයක් බවත් කියනු ලැබේ.

A backshot of a couple - with the man wearing a check shirt and the woman dressed in black and white tunic - holding their hands up against the Mumbai skyline to make a heart
ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දියානු ප්‍රාන්තවල පවතින ආගම් මාරු කිරීම්වලට එරෙහි නීති මාලාවක් හේතුවෙන් විවිධ ආගම්වලට අයත් පුද්ගලයන් අතර සිදුවන විවාහ වඩාත් අභියෝගාත්මක වී තිබේ

විවේචකයින් පවසන්නේ මෙවැනි චෝදනා මගින් ක්‍රිස්තියානි යාච්ඤා රැස්වීම් සහ විවිධ ආගම්වලට අයත් යුවළවලට එරෙහිව සිදු කෙරෙන හිරිහැර උත්සන්න වී ඇති බවත්, යාච්ඤාව, විවාහය සහ ඇදහිල්ල සම්බන්ධ කාරණා වෙත පොලිසිය මැදිහත් කරවා ගැනීමට මෙම නීති මගින් චෝදනා කරන්නන්ට අවස්ථාව සැලසෙන බවත් ය.

මහාරාෂ්ට්‍ර රජය පවසන්නේ, මෙම නව නීතිය මගින් පුද්ගලයන්ට තම කැමැත්ත පරිදි ආගම වෙනස් කර ගැනීමට ඉඩ ලබා දෙන අතර ම, පවතින නීතිවලට වැළැක්වීමට නොහැකි වූ බලහත්කාරයෙන් ආගම වෙනස් කරවීම් ද ඉලක්ක කර ඇති බව යි.

බලහත්කාරය සහ තේරීම් අයිතිය අතර සීමාව අඳින්නේ කොතැන ද යන්න පිළිබඳව විවේචකයෝ ප්‍රශ්න කරති.

"බලහත්කාරයෙන් සිදු කෙරෙන ආගම් මාරු කිරීම් (එවැනි දේ සිදුවන්නේ නම්) අපි අනුමත කරන්නේ නෑ," යනුවෙන් ප්‍රතිසංස්කරණවාදී සංවිධානයක් වන 'මුස්ලිම් සත්‍යශෝධක් මණ්ඩල්' (මුස්ලිම් සත්‍ය ගවේෂක සංගමය) සභාපති සම්සුද්දීන් ටම්බෝලි පැවසීය. නීතිය මගින් "පෙළඹවීමක්" ලෙස අර්ථ දක්වන්නේ කුමක් ද යන්න පිළිබඳව ඔහු තුළ ගැටලුවක් පවතී.

එහි දැක්වෙන "පෙළඹවීම"යන අර්ථ දැක්වීමට රැකියාවක්, ආගමික ආයතනයක නොමිලේ අධ්‍යාපනය, විවාහ පොරොන්දුවක්, "වඩා හොඳ ජීවන රටාවක්" සහ "දෙවියන්ගේ බලයෙන් සුවය ලැබීම" වැනි දේ ඇතුළත් වේ. එක් ආගමක් තවත් ආගමකට වඩා උසස් කොට දැක්වීම පවා ඊට අයත් විය හැකි ය.

"මෙම නිර්වචනය ඉතා අපැහැදිලි ලෙස තබා ඇති බැවින්, පුද්ගලයෙකුට ලැබෙන ඕනෑ ම වාසියක් පාහේ "පෙළඹවීමක්" ලෙස සැලකීමට හෝ එසේ තර්ක කිරීමට හැකියාව පවතිනවා," යනුවෙන් මුම්බායි මහාධිකරණයේ විශ්‍රාමික විනිසුරු අභේ තිප්සේ පැවසීය.

"යම් පුද්ගලයෙකුට යම් ප්‍රතිලාභයක් ලැබිලා, ඒ හේතුව නිසා ම ස්වකීය කැමැත්තෙන් ආගම වෙනස් කර ගැනීමට තීරණය කරන්නේ නම්, එය වැරදි දෙයක් ලෙස සැලකිය යුත්තේ ඇයි?"

නව නීතියට අනුව දෙමව්පියන්ට, සහෝදර සහෝදරියන්ට සහ අනෙකුත් ඥාතීන්ට නීති විරෝධී ආගමට හැරවීමක් සම්බන්ධයෙන් පොලිසියට වාර්තා කිරීමට අවසර ලැබේ. එම ආගමට හැරවීමට හේතු වූ හෝ උදව් කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයා එය නීත්‍යනුකූල බව ඔප්පු කළ යුතු ය.

විවිධ ආගම්වලට අයත් යුවළ අතර විවාහයන් දැනටමත් ඔවුන්ගේ පවුල්වලින් විරෝධතාවලට ලක්ව තිබිය හැකි පසුබිමක, මෙම විධිවිධානය ඔවුන්ට තවත් ගැටලුවක් නිර්මාණය කළ හැකි බව විවේචකයෝ පවසති.

විවිධ ආගම්වලට අයත් පුද්ගලයින්ට තම ආගම වෙනස් නොකර විවාහ වීමට ඉන්දීය නීතියෙන් ඉඩ ලබා දෙන නමුත්, ඒ සඳහා මාසයකට පෙර දැනුම් දීමක් සිදු කිරීම අනිවාර්ය වේ. විවිධ ආගම්වලට අයත් යුවළවලට අධිකරණ ආරක්ෂාව ලබා ගැනීමට සහය වී ඇති නීතිඥවරියක වන ලාරා ජෙසානි පැවසුවේ, එම දැනුම් දීමේ කාලසීමාව තුළදී සැලසුම් කර ඇති විවාහයන් පිළිබඳ තොරතුරු සමහර අවස්ථාවලදී ඥාතීන්ට මෙන් ම එවැනි විවාහවලට විරුද්ධ හින්දු ජාතිකවාදී කණ්ඩායම්වලට ද ලැබී ඇති බව යි.

A woman with her face and head covered holds up a poster that says "Love is not a crime"
ඡායාරූප ශීර්ෂ වැකිය, නව නීතිය මගින් විවිධ ආගම්වලට අයත් යුවළ ඉලක්ක කර ගැනීමට පවුල්වලට හෝ දක්ෂිණාංශික සංවිධානවලට නව මගක් සැපයිය හැකි යැයි විවේචකයෝ බිය පළ කරති

ඇය පෙනී සිටි නඩුවලදී, විවාහ ලියාපදිංචි කිරීමේ කාර්යාලයේදී පවා පවුල්වල අය කාන්තාවන් රැගෙන ගොස් ඇති බව ඇය පැවසුවා ය.

දැන් ඇය බිය වන්නේ, මෙම නව නීතිය මගින් එවැනි යුවළ ඉලක්ක කර ගැනීමට පවුල්වලට හෝ දක්ෂිණාංශික සංවිධානවලට නව මාර්ගයක් සැපයිය හැකි බවට ය.

"ආගම මාරු කරන්න දෙපාර්ශවයෙන් කාටවත් අදහසක් නොතිබුණත්, එක් පාර්ශවයක් අනෙක් පාර්ශවය ආගම මාරු කර ගැනීමට උත්සහ කරනවා කියලා ඥාතියෙක් චෝදනා කරාවි කියලා ඔවුන් බය වෙනවා."

මෙම කරුණු සම්බන්ධයෙන් බීබීසීය යොමු කළ සවිස්තරාත්මක ප්‍රශ්නවලට මහාරාෂ්ට්‍ර රජය ප්‍රතිචාර දැක්වූයේ නැත. කෙසේ වෙතත්, මෙම නීතිය සම්මත වූ අවස්ථාවේදී ප්‍රාන්ත අමාත්‍ය පන්කජ් භෝයාර් ප්‍රකාශ කළේ, එයින් ආගම වෙනස් කර ගැනීමේ අයිතියට බලපෑමක් සිදු නොවන බව යි. ආගම මාරු කිරීම ස්වේච්ඡාවෙන් සිදුවන්නක්දැයි තහවුරු කර ගැනීම මෙන් ම, වංචාව, බලහත්කාරය හෝ විවිධ ප්‍රතිලාභ ලබා දීමේ පොරොන්දු මගින් සිදු කෙරෙන ආගම මාරු කිරීම්වලට එරෙහිව පියවර ගැනීමට රජයට ඉඩ සැලසීම මෙම දැනුම් දීමේ අවශ්‍යතාවයේ අරමුණ බව ඔහු පැවසීය.

එහෙත් ත්‍රිභුවන්ට තවමත් ඇත්තේ කණස්සල්ලකි. දේවස්ථානයක් ඉතා දුරින් පිහිටි විට නිවසට ආසන්නයේ පැවැත්වෙන කුඩා යාච්ඤා රැස්වීම්වලට සහභාගී වන අවස්ථාවලදී පවා එම කණස්සල්ල මතු වන බව ඔහු පවසයි.

එයට පුද්ගලයන් පනස් දෙනෙකු පමණ සහභාගී විය හැකි බවත්, ඇතැම් විට 100 දෙනෙකු පමණ සහභාගී වන බවත්, ක්‍රිස්තියානි නොවන අයෙකු වුව ද ඊට එක්විය හැකි බවත් ඔහු පැවසීය.

"වෙනත් අයෙකුට පැමිණ යාච්ඤා කිරීමට අවශ්‍ය නම්, අපට ඔවුන් වළක්වන්න බෑ" ඔහු පැවසීය. "අපි 'තෝරා ගැනීමේ අයිතිය' ලෙස හඳුන්වන්නේ ඒක."

විශ්‍රාමික විනිසුරු තිප්සේට අනුව, මෙම පූර්වාරක්ෂක පියවර වඩාත් පුළුල් ප්‍රශ්නයක් වෙත අවධානය යොමු කරයි.

"වැඩිහිටියෙකුට විවාහ විය යුත්තේ කවුරුන් සමග ද යන්න වැනි ප්‍රධාන තීරණ ගැනීමේ බලය මෙන් ම ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ද හිමිව තිබේ නම්, ඔවුන්ට මෙම තීරණය ගැනීමේ බලයත් නොතිබිය යුත්තේ ඇයි?," ඔහු පැවසුවේ ය.