'රැකියාවකට ගිය මට ප්‍රංශ රජයේ නිලධාරියෙක් කෝපිවලට මත්ද්‍රව්‍ය දමා මගේ ඇඟේ ම මුත්‍රා කරවාගන්න සැලැස්සුවා'

ඇනායිස් ඩි වොස් තද නිල් පැහැති කමිසයක් හැඳ සිටින අතර, ඇයට ඇත්තේ ලා පැහැති, රැලි සහිත හිසකෙස්ය.
ඡායාරූප ශීර්ෂ වැකිය, නේග්‍රා තමාට දුන් කෝපි කෝප්පයේ මත්ද්‍රව්‍ය අඩංගු වී තිබූ බවට ඇනායිස් ඩි වොස් සැක කරයි
    • Author, එමා එල් - බීබීසී ලෝක සේවය සහ ඇමේලියා බටර්ලි - පැරිස් සහ ස්ට්‍රාස්බර්ග් සිට
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 10

"මම ඇත්තට ම ගොඩක් දුර්වල වෙලා හිටියේ. මගේ කකුල් දෙක තියෙනවා ද කියලවත් හරියට දැනුණේ නැහැ. මම බය වුණා, මොකක් ද වෙන්නේ කියලා මම දැනගෙන හිටියේ නැහැ," යැයි ඇනායිස් ඩි වොස් පවසයි.

ඒ, 2011 ජූලි මාසය යි. එවකට වයස අවුරුදු 27ක් වූ ඇනායිස් සිටියේ, පැරිසියේ පිහිටි ප්‍රංශ සංස්කෘතික අමාත්‍යංශයේ රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටිමිනි.

ඇය සාමාන්‍යයෙන් කෝපි පානය නොකළ ද, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකු වූ ක්‍රිස්ටියන් නේග්‍රා ඇයට කෝපි කෝප්පයක් පිරිනැමූ විට, එය ප්‍රතික්ෂේප කිරීම නුසුදුසු බැවින් ඇය එය පිළිගත්තා ය.

එය සාදනු ලැබ තිබුණේ, ඔහු විසින් බව ඇය බීබීසී Global Women වෙත පැවසීය. නමුත් "ඒකේ රසයේ අවුලක් තිබුණා... ඒ නිසා මම බිව්වේ ඒකෙන් භාගයක් විතර යි."

මෙම හමුවීම කාර්යාලය තුළ ආරම්භ වී තිබුණ ද, මිනිත්තු කිහිපයකට පසුව නේග්‍රා යෝජනා කළේ, ඔවුන් පිටතට යා යුතු බවට ය.

ඔවුන් පැරිසියේ වීදි දිගේ ඇවිදිමින් සිටියදී, ඇනායිස්ට පැහැදිලි කළ නොහැකි හා පාලනය කර ගත නොහැකි ලෙස මුත්‍රා කිරීමට දැඩි අවශ්‍යතාවක් දැනෙන්නට පටන් ගත්තා ය.

ඇයට වැසිකිළිය භාවිත කිරීමට කාර්යාලයට ආපසු යාමට අවශ්‍ය බව නේග්‍රාට පැවසීමට අපහසුතාවක් දැනුණු බැවින්, ආපසු යාමට හේතුවක් ලෙස ඇය තමන්ට සීතලක් දැනෙන බව ඔහුට පැවසුවා ය. එහෙත්, ඔහු එය නොසලකා ඉදිරියට ඇවිද ගොස්, ඔවුන් සෙන් නදියේ ඉවුර දෙසට රැගෙන ගිය බව ඇය පවසයි. ඒ නිසා තමන්ට හැකි ඉක්මනින් වැසිකිළියකට යා යුතු බව ඇය ඔහුට පවසා තිබිණි.

"එයා මගේ ඇස් දිහා බලාගෙන, 'අනේ, ඔයාට මුත්‍රා කරන්න ඕන ද?' කියලා ඇහුවා.

"මට ළමයෙකුගේ වගේ හැඟීමක් ඇති වුණා. එයා මං දිහා බලපු විදිය හරි ම අමුතුයි කියලා මට හිතුණා. හරියට ගොඩක් සතුටින් බලනවා වගේ."

A man in a dark suit jacket, pale shirt and blue tie with short grey hair. He is wearing glasses. There is a plain cream-coloured wall behind him.

ඡායාරූප මූලාශ්‍රය, Grand Est Region & Bas-Rhin Prefect

ඡායාරූප ශීර්ෂ වැකිය, 2009 සහ 2018 අතර කාලය තුළ නේග්‍රා තමන්ට මත්ද්‍රව්‍ය ලබා දුන් බවට කාන්තාවන් 250කට ආසන්න සංඛ්‍යාවක් චෝදනා කරති

ඔහු සෙන් නදිය හරහා ඇති පාලමක් යට පිහිටි ගබඩා කාමරයක දොරකඩ වෙත තමන්ව රැගෙන ගොස්, "ඔයාට මෙතැන ඒක කරන්න පුළුවන්" යැයි පැවසූ බව ඇය පවසයි.

දැන් ඇනායිස් යනු, 2009 සිට 2018 දක්වා කාලය තුළ සිදුවූ බව කියන සිදුවීම්වලදී නේග්‍රා විසින් තමන්ට මත්ද්‍රව්‍ය ලබා දෙන ලද්දේ යැයි විශ්වාස කරන කාන්තාවන් 250කට ආසන්න පිරිසගෙන් එක් අයෙකි. යම් අයෙකු පාලනය කර ගැනීම සඳහා මත්ද්‍රව්‍ය භාවිතයෙන්, 'රසායනික යටත් කිරීම' (chemical submission) ලෙස හැඳින්වෙන ක්‍රියාවලියට එහිදී ඔවුන් ලක් කර තිබිණි.

2024දී ජිසෙල් පෙලිකොට්ගේ සැමියා ඇයව මත්කර සිහිසුන් තත්ත්වයට පත් කර, අන් අයට ඇය දූෂණය කිරීමට ඉඩ සලසා දීමේ චෝදනාවට වරදකරු කිරීමත් සමග 'රසායනික යටත් කිරීම පිළිබඳ සංකල්පය ප්‍රංශයේ දැඩි ලෙස කතාබහට ලක් වන්නට විය.

"මම කලබල වුණා, එයා මාව ඒ කාමරයට තල්ලු කරලා, දොර වහනවා වගේ දෙයක් වුණා මට මතක යි," ඇය පවසයි.

එය "හරි ම අමුතු" දෙයක් ලෙස හැඟුණු නිසා, එතැනින් පිටව යා යුතු බව ඇනායිස් තරයේ කියා සිටියා ය.

ඔවුහු ලූවර් කෞතුකාගාරයට ගොස් එහි වැසිකිළි භාවිත කිරීමට උත්සහ කළ ද, ඒ සඳහා යුරෝ එකක් ගෙවිය යුතු වූ අතර ඇය තම මුදල් පසුම්බිය අමාත්‍යාංශ කාර්යාලයේ දමාවිත් තිබිණි. නේග්‍රා පවසා තිබුණේ තමා සතුව ද මුදල් නොමැති බව ය.

මුත්‍රා නොකර සිටීමට ගත් උත්සහය නිසා වේදනාවෙන් හා අසරණභාවයෙන් සිටි ඇනායිස් අවසානයේ වැසිකිළිය භාවිත කිරීමට ඉඩ දුන් අවන්හලක් සොයා ගත්තා ය.

එතැනට යන මොහොත වන විට "මට ශාරීරිකව ගොඩක් දුර්වල බවක් දැනුණා," ඇය පවසයි. වැසිකිළිය වෙත යන අවස්ථාවේ පාලනය ගිලිහී ගොස් ඇයට ඇගේ සිරුරේ ම මුත්‍රා පිටවී තිබිණි.

2011 වසර සිහිපත් කරන ඇනායිස්ට යම් සැනසීමක් දැනෙන්නේ, ඇය මුත්‍රා කළ අවස්ථාවේදී එය නේග්‍රාගේ බැල්මට හසු නොවූ නිසා ය. "අඩු ම තරමින් එයා මාව දැක්කෙ නැහැ නේ," ඇය පවසයි.

"මම ගවුමක් ඇඳගෙන හිටපු එක ගැන ලොකු සැනසීමක් දැනුණා," ඇය තවදුරටත් පවසයි. එමගින් සිදුවූ දෙය සඟවා ගැනීම පහසු වූ බව ඇය පැහැදිලි කළා ය.

නේග්‍රා සමග ගෙවුණු පැය තුනක පමණ කාලයෙන් පසු තමන්ට "කරකැවිල්ලක් සහ දැඩි විඩාවක් දැනුණු," බව ඇය පවසයි.

පැරීසියේ ලූවර් කෞතුකාගාරයේ නවීන වීදුරු පිරමිඩ දෙකක් දක්නට ඇත. වම් පසින් පැරණි ගොඩනැගිල්ලක් තිබේ. අහස නිල් පැහැයෙන් යුක්ත වන අතර, පිරමිඩ ඉදිරිපිට කිහිපදෙනෙක් වාඩි වී සිටිති. දකුණු පසින් ඈතින් ෆෙරිස් රෝදයක් දක්නට ලැබේ.

ඡායාරූප මූලාශ්‍රය, Mohammed Badra/EPA/Shutterstock

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇනයිස් ලූවර් කෞතුකාගාරය දෙසට ගියේ එහි ඇති පොදු වැසිකිළියක් භාවිත කළ හැකි වේ යැයි බලාපොරොත්තුවෙනි

ඇයට රැකියාව ලැබුණේ නැත. ඔහු පිළිබඳ සැකයක් තිබුණ ද, තමන්ට එතරම් අපහසුතාවක් ඇති වූයේ කුමන හේතුවකින්දැයි ඇයට කිසිවිටෙකත් නිශ්චිතව තේරුම් ගැනීමට නොහැකි විය.

මෙම සිදුවීම නිසා තම ආත්ම විශ්වාසය බිඳ වැටුණු බව ඇනායිස්ට හැඟුණු අතර, ඉන්පසු ඇය දැඩි අපේක්ෂාසහගත රැකියා සෙවීමට පෙළඹුණේ නැත.

ඉන්පසු 2019 දී ඇයට පොලිසියෙන් ලිපියක් ලැබිණි. පොලිසියට ගිය විට ඇය දැන ගත්තේ අමාත්‍යාංශයේ රැකියා සඳහා පැවති සම්මුඛ පරීක්ෂණවලදී නේග්‍රා විසින් මත්ද්‍රව්‍ය ලබා දුන් බවට චෝදනා එල්ල වූ කාන්තාවන් 200කට අධික සංඛ්‍යාවකින් ඇයද එක් අයෙකු බවට ඔවුන් සැක කරන බව ය.

"මම පුදුමයට පත් වුණා, නමුත් මට පිස්සු නෙවෙයි කියලා දැන ගන්න ලැබුණු එක ගැන සතුටු වුණා. එදා මොනව හරි දෙයක් සිද්ධ වුණා," ඇය පවසයි.

ඉන්පසුව, තවත් විශාල පිරිසක් වින්දිතයන් ලෙස ඉදිරියට පැමිණ ඇත.

නේග්‍රා භාවිත කර ඇත්තේ අධිරුධිර පීඩනය ඇතුළු වෛද්‍ය තත්ත්ව ගණනාවක් පාලනය කිරීමට භාවිත කරන සහ ශරීරයෙන් අධික ලෙස මුත්‍රා නිපදවීමට හේතු වන diuretics වර්ගයේ ඖෂධ බව පොලිසිය විශ්වාස කළේ ය.

නේග්‍රා මුණගැසුණු දවසේදී, ඔහු තමන්ගේ පානයට යම් දෙයක් දමා තිබුණා විය හැකි බවට ඇනායිස්ට සිතුවිල්ලක් මොහොතකට ඇති විය. නමුත් ඇය එම සිතුවිල්ල පසෙකට දමා, "මේ සංස්කෘතික අමාත්‍යාංශයනේ. එහෙම වෙන්න බැහැ," යැයි තමන්ට ම කියා ගත්තා ය.

'P පර්යේෂණ'

ඇනායිස් පවසන්නේ, පොලිසිය ඇයට පැවසූ පරිදි නේග්‍රාගේ පරිගණකයේ 'Experiments P' යන මාතෘකාව යටතේ ගොදුරු කර ගත් කාන්තාවන්ගේ තොරතුරු ඇතුළත් ලේඛනයක් සොයාගෙන තිබූ අතර, ඔවුන් ඇයව හඳුනාගෙන ඇත්තේ ඒ මාර්ගයෙන් බව ය.

එම ලේඛනයේ, කාන්තාවන් සම්මුඛ පරීක්ෂණයට පැමිණි වේලාව, diuretic ඖෂධය ලබා දුන් වේලාව, ඔවුන් මුත්‍රා කිරීමට පෙර ගත වූ කාලය සහ ඔවුන් ඇඳ සිටි යට ඇඳුම් පිළිබඳ සටහන් තිබූ බව ඇය පවසයි.

අතීතය ආවර්ජණය කරන ඇනායිස් විශ්වාස කරන්නේ, නේග්‍රා තමන්ට ලබා දුන් කෝපිවල තිබූ අමුතු රසය එම diuretic ඖෂධ නිසා ඇති වන්නට ඇති බව ය.

නේග්‍රා සම්බන්ධ විමර්ශනය ආරම්භ වූයේ, 2018 ජූනි මාසයේදී බවත්, එම අවස්ථාවේදී ඔහු මේසයක් යටට වී කාන්තාවකගේ ඡායාරූප ගනිමින් සිටියදී තවත් සේවකයෙකු විසින් ඔහුව අල්ලාගනු ලැබූ බවත්, මේ වසරේ පෙබරවාරි මාසයේදී නිකුත් කළ නිවේදනයකින් පැමිණිලි කාර්යාලය සඳහන් කළේ ය.

පළමුව සංස්කෘතික කටයුතු සම්බන්ධ ප්‍රාදේශීය අධ්‍යක්ෂ ධූරයෙන් ඔහු තාවකාලිකව ඉවත් කළ අතර, 2019 දී සංස්කෘතික අමාත්‍යාංශය විසින් ඔහුව සේවයෙන් පහ කරන ලදී.

සම්මුඛ පරීක්ෂණ අතරතුර "කාන්තාවන්ට අවමන්සහගත ආකාරයෙන් ක්‍රියා කළ" බව 2018 දී නේග්‍රා විමර්ශකයින්ට පවසා තිබුණු බව නීතිඥයෝ පැවසූහ.

මෙම කාන්තාවන්ගෙන් බොහෝ දෙනෙකු පවසන්නේ, තමන් ගොදුරක් වන්නට ඇතැයි මුල්වරට දැන ගත්තේ පොලිසිය තමන් සම්බන්ධ කර ගත් විට බව ය.

ඇනායිස් සහ අනෙකුත් පැමිණිලිකාරියන් දැක්වූ අදහස් දැකීමෙන් පසු තවත් පිරිස් ඉදිරිපත් වූහ.

දැන් වයස අවුරුදු 60කට වැඩි නේග්‍රාට එරෙහිව ඖෂධ ලබාදීම, පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීම සහ ලිංගික අතවර ඇතුළු චෝදනා යටතේ විධිමත් විමර්ශනයක් සිදු කෙරෙමින් පවතී.

බීබීසී විසින් මෙම ලිපියෙහි අඩංගු චෝදනා ඔහුගේ නීතිඥවරයා හරහා නේග්‍රා වෙත ඉදිරිපත් කළ ද, ඔහු අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළේ ය.

Marie-Hélène Brice is wearing a green patterned, short-sleeved dress. She has straight, shoulder-length brown hair. Behind her are some trees and a stretch of water.

මාරි-එලේන් බ්‍රිස් කොළ පැහැති රටා සහිත, කෙටි අත් ඇති ඇඳුමක් ඇඳ සිටී. ඇයගේ දුඹුරු පැහැති සෘජු කොණ්ඩය උරහිස් දක්වා දිගයි. ඇය පිටුපස ගස් කිහිපයක් සහ ජල ප්‍රදේශයක් දක්නට ලැබේ.
ඡායාරූප ශීර්ෂ වැකිය, මාරි-එලේන් බ්‍රිස් පවසන්නේ, ස්ට්‍රාස්බර්ග්හි සම්මුඛ සාකච්ඡාවක් අතරතුරදී නේග්‍රා ඇයව ඇළ අසලට රැගෙන ගිය බවත්, "ඔහු මගෙන් ඇස් ඉවතට ගත්තේවත් නැහැ" යනුවෙනි.

නේග්‍රාගේ සටහන්වල සඳහන් වූ තවත් අයෙකු වූයේ, මාරි-හෙලන් බ්‍රයිස් ය. 2016දී ස්ට්‍රාස්බර්ග් නුවරදී සංස්කෘතික අමාත්‍යාංශයේ රැකියාවක් සඳහා ඔහු ඇයව සම්මුඛ පරීක්ෂණයට ලක් කර තිබිණි.

ඇය පවසන්නේ, තමන් ආතතියෙන් පසුවන බව ඔහු පැවසූ අතර, "සන්සුන් වීමට" පිටතට ටිකක් ඇවිදිමු යැයි යෝජනා කළ බව ය.

නමුත් ඔවුන් ඇළක් අසලින් ඇවිදිමින් සිටියදී, ඇනයිස්ට මෙන් ම මාරි-හෙලන්ට ද පාලනය කළ නොහැකි මුත්‍රා අවශ්‍යතාවක් ඇති වී තිබූ අතර, එය ඇයට වේදනාවක් ද ඇති කළේ ය.

ඇය පවසන්නේ, ආසන්නයේ පොදු වැසිකිළියක් ඇති බව නේග්‍රා පැවසූ නමුත්, ඔවුන් එම ස්ථානයට ළඟා වූ විට කිසිදු වැසිකිළියක් නොතිබූ බව ය.

"මට ඇත්තට ම ගොඩක් වේදනාවක් දැනෙන්න ගත්තා... මම සුදුමැලි වෙලා, කඳුළු එන තරම් වේදනාවක් තිබුණා," ඇය පවසයි.

මාරි-හෙලන් පවසන්නේ, අවසානයේ ප්‍රසිද්ධ ස්ථානයක මුත්‍රා කිරීම හැර වෙනත් විකල්පයක් නොතිබූ බව ය. ඇය පවසන්නේ නේග්‍රා තම කබායෙන් ඇයව ආවරණය කිරීමට ඉදිරිපත් වූ බව ය.

"මට දැඩි ලැජ්ජාවක් දැනුණා, එයාගේ ඇස් මගෙන් එක මොහොතකටවත් ඉවත් වුණේ නැහැ." ඇය පවසයි.

වසර ගණනාවක් තිස්සේ තමන් ලැජ්ජාවෙන් පසුවූ බව මාරි-හෙලන් පවසයි.

ඇනායිස් මෙන් ම, ඇයව ද පොලිසිය විසින් සම්බන්ධ කරගෙන, නේග්‍රාගේ බව කියන වින්දිතයන් අතර ඇය ද සිටින බව දැනුම් දී තිබිණි. "එය මට ඉතා විශාල කම්පනයක් වුණා," ඇය වැඩිදුරටත් පවසයි.

රසායනික මත්කිරීම

මානසික පීඩනයට අමතරව, තමන් මුත්‍රා සම්බන්ධ සෞඛ්‍ය ගැටලුවලින් ද පෙළෙන බව මාරි-හෙලන් පවසයි.

ඇය පැහැදිලි කරන්නේ, මෙම සිදුවීම් ලිංගික හිංසනය පිළිබඳ සිද්ධීන්වලදී සාමාන්‍යයෙන් මිනිසුන් සිතන ආකාරයට නොගැළපුණත්, තමන්ට සිදුවූ දේ පිළිබඳව ඇයට කිසිදු සැකයක් නොමැති බව ය: "මට පහර දී තිබෙනවා, මාව මත් කර තිබෙනවා, මාව විෂ කර තිබෙනවා. නමුත් මට නම්, මෙය පැහැදිලිව ම ලිංගික හිංසනයක්."

රසායනික මත්කිරීමේ ගැටලුව ප්‍රංශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන සන්ද්‍රීන් ජොසෝ විසින් ද ඉදිරියට ගෙන එනු ලැබ ඇත. ප්‍රංශ සෙනෙට් සභික ජොයෙල් ගෙරියු ඇයට ලිංගික හිංසනයක් සිදු කිරීමේ අරමුණින් ඇගේ පානයට එක්ස්ටසි මත්ද්‍රව්‍ය දමා තිබීම සම්බන්ධයෙන් මේ වසරේ වරදකරු බව තීන්දු වූ පසුව, ඇය මෙම ගැටලුව සම්බන්ධ ප්‍රමුඛ ක්‍රියාකාරියක බවට පත්විය.

ජොසෝ පවසන්නේ, මත්ද්‍රව්‍ය ලබා දී හෝ මත් කරනු ලැබූ කාන්තාවන්ට සහය වීමටත්, එවැනි වැරදිකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් ප්‍රංශය දිගු කලක් තිස්සේ ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බව ය.

Sandrine Josso stares at the camera. She has mid-length dark hair and is wearing a black top. She's standing in front of a wall with gold leaf on it. 

සන්ද්‍රීන් ජොසෝ කැමරාව දෙස බලා සිටී. ඇයට මධ්‍යම දිගැති කළු පැහැති කොණ්ඩයක් ඇති අතර, ඇය කළු පැහැති උඩු ඇඳුමක් ඇඳ සිටී. ඇය රන් පැහැති සැරසිලි සහිත බිත්තියක් ඉදිරිපිට සිටගෙන සිටී.
ඡායාරූප ශීර්ෂ වැකිය, සන්ද්‍රීන් ජොසෝගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන නියමු වැඩසටහනක් යටතේ, කාන්තාවන්ට තම රුධිරය, මුත්‍රා සහ හිසකෙස් සාම්පල ලබාගෙන ඒවා මත්ද්‍රව්‍ය සඳහා පරීක්ෂා කරවා ගත හැකි ය

මෙම වසරේ හඳුන්වා දුන් නියමු වැඩසටහනක් පිටුපස සිටියේ ද ඇය යි. එම වැඩසටහන යටතේ, තමන්ට මත්ද්‍රව්‍ය ලබා දී ඇති බවට සැක කරන කාන්තාවන්ට පොලිසියට නිල පැමිණිල්ලක් ගොනු කිරීමකින් තොරව, රුධිරය, මුත්‍රා හෝ හිසකෙස් සාම්පල පරීක්ෂා කිරීම සඳහා රසායනාගාරයකට භාර දිය හැකි ය.

"මිනිස්සු ක්‍රියාශීලී වෙමින් ඉන්නවා. ගොදුරු වූවන් වැඩි වශයෙන් වාර්තා කරමින් පැමිණිලි ගොනු කරනවා. ඒක වැදගත්," ජෝසෝ බීබීසී Global Women වෙත පැවසුවාය.

නමුත් මෙහි සීමාවන් තිබේ. ඇනායිස්, මාරි-එලන් සහ තවත් බොහෝ වින්දිතයන් තමන්ට මත්ද්‍රව්‍ය ලබා දී ඇති බවට සැක නොකළහ. එමෙන් ම, මත්ද්‍රව්‍ය ලබා දීමෙන් පසු ඉතා කෙටි කාලයක් තුළ පරීක්ෂා නොකළහොත්, එම ද්‍රව්‍ය රුධිර හා මුත්‍රා සාම්පලවලින් හඳුනාගත නොහැක.

මත්ද්‍රව්‍ය හිසකෙස් තුළ වැඩි කාලයක් හඳුනාගත හැකි වුව ද, කාලය ගත වන විට ඒවා ලබා දුන්නේ කවදා දැයි නිශ්චිතව තීරණය කිරීම වඩාත් අපහසු වේ.

මෙවැනි ආකාරයෙන් diuretics ඖෂධය භාවිත කිරීම "ඉතා අසාමාන්‍ය දෙයක්" බව රේමන්ඩ්-පොයින්කෙයාර් AP-HP රෝහලේ මෙම නියමු වැඩසටහන මෙහෙයවන මහාචාර්ය ජීන්-ක්ලෝඩ් අල්වාරෙස් පවසයි. විෂ ද්‍රව්‍ය පිළිබඳ විද්‍යාඥයෙකු ලෙස කටයුතු කළ වසර 26ක කාලය තුළ මෙවැනි දෙයක් තමන් කිසි දා දැක නැති බව ද ඔහු පවසයි.

Prof Jean-Claude Alvarez is pictured in his toxicology lab wearing a white lab coat. He has short grey hair. He's holding tweezers that are gripping strands of hair 

මහාචාර්ය ජීන්-ක්ලෝඩ් අල්වාරෙස් තම විෂ විද්‍යා රසායනාගාරයේ සුදු පැහැති රසායනාගාර කබායක් ඇඳ සිටින අයුරු දැක්වේ.
ඡායාරූප ශීර්ෂ වැකිය, මහාචාර්ය ජීන්-ක්ලෝඩ් අල්වාරෙස් විෂ පරීක්ෂණ රසායනාගාරයේදී හිසකෙස් ඇතුළු සාම්පල මත්ද්‍රව්‍ය සඳහා පරීක්ෂා කරයි

මෙම රසායනාගාරය සාමාන්‍යයෙන් ද්‍රව්‍ය 400ක් සඳහා පරීක්ෂණ සිදු කරන අතර, "දැන් ප්‍රංශයේදී අපි diuretics සොයමින් පරීක්ෂා කරනවා," ඔහු වැඩිදුරටත් පවසයි.

ඇනායිස්ට නේග්‍රා මුණගැසී දැන් වසර 15ක් ගත වී ඇති අතර, ඇය පළමු වරට පොලිසිය සමග කතා කර වසර 7ක් ගත වී ඇත.

අනෙකුත් චෝදනාකරුවන් බොහෝ දෙනෙකු මෙන් ම, නේග්‍රාගේ නඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට ගත වන දිගු කාලය පිළිබඳව ඇය ද කලකිරීමට පත්ව සිටී.

මේ අතර, පීඩාවට පත් කාන්තාවන් 30කට පමණ සහය දක්වන කාන්තා අයිතිවාසිකම් සංවිධානයක් වන Fondation des Femmes පවසන්නේ, චෝදනා එල්ල වී ඇති පුද්ගලයා තවදුරටත් මානව සම්පත් අංශයේ සේවය කරමින් සිටින බව ය.

"සෑම දේකින් ම මට නොසන්සුන් බවක් ඇති වෙනවා. අපට සලකන ආකාරය ගැන මට තරහක් ඇති වෙලා තියෙනවා," දැන් 42 හැවිරිදි ඇනායිස් පවසයි.

ඇය පවසන්නේ, 2019 වසරේදී පළමු වරට පොලිසිය සමග කතා කළ නමුත්, ඔවුන්ට බොහෝ වාරයක් විද්‍යුත් තැපෑලෙන් දැනුම් දීම් කළ ද, 2023 වසර වන තෙක් නඩුව සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොලැබුණු බව ය.

"වසර හතරක් පුරාවට, මම වින්දිතයෙකු බව දැනගෙන තනියෙන් ම හිටියා. මම කරන්න ඕන මොකක් ද කියලා දැනගෙන හිටියේ නැහැ." ඇය පවසයි. "යුක්තිය පසිඳලීමේ පද්ධතිය ගැන මට ලොකු තරහක් තිබෙනවා."

මාරි-එලන් මෙම බලා සිටීම "ද්විතීයික වින්දිතභාවයක්" ලෙස විස්තර කරයි.

"වින්දිතයෙකු විදිහට, මට ඒකෙන් වුණ බලපෑම ඔප්පු කරන්න ඕන. මනෝ වෛද්‍යවරයෙකු හමුවීමට යා යුතු යි, විශේෂයෙන් සටහන් ලියා තබා ගන්න ඕන," ඇය පවසයි.

නඩුවට සිදුවන ප්‍රමාදයන් නිසා සිදුවූ දේ දරා ගැනීම ඇයට තවත් අපහසු වී ඇත.

"අපට සම්පූර්ණයෙන් ම බැරෑරුම් විදිහට සලකනවා කියලා අපට හැගෙන්නේ නැහැ," යැයි මාරි-එලන් පවසයි.

UN Womenහි කල්ලියෝපි මින්ගේරෝ බීබීසී වෙත පවසා ඇත්තේ, මත්ද්‍රව්‍ය භාවිතයෙන් පහසුකම් සපයන ලද ලිංගික හිංසනයට එරෙහිව කටයුතු කිරීම සඳහා රජයන්, පොලිසිය සහ අධිකරණ පද්ධති තවත් බොහෝ දේ කළ යුතු බව ය. එමෙන් ම, බලධාරීන් "ඉතා බරපතළ අභියෝගවලට" මුහුණ දෙමින් සිටින බවත්, චෝදනා එල්ල වී ඇති අපයෝජන සිද්ධීන් සම්බන්ධ නඩු ප්‍රමාද වීම "කාන්තාවන්ගේ ජීවිත විනාශ කරමින්" සිටින බවත් ඇය පවසයි.

බීබීසී විසින් මෙම නඩුව සම්බන්ධයෙන් ප්‍රංශ පොලිසිය, අධිකරණ පද්ධතිය සහ රජය කටයුතු කළ ආකාරය පිළිබඳ එල්ල වී ඇති විවේචනවලට ප්‍රතිචාර දක්වන ලෙස ඉල්ලා සිටිනු ලැබුව ද, ඔවුන් කිසිදු ප්‍රතිචාරයක් ලබා දුන්නේ නැත.

දිගු කාලයක් පුරා මාරි-එලන් නිහඬව සිටියා ය. අවසානයේ ඇයට ලැජ්ජාවක් දැනීම නතර වූ පසු, ඇය ඒ ගැන කතා කිරීමට පටන් ගත්තා ය.

"මට මාව හංගාගෙන ඉන්න අවශ්‍ය නැහැ, මම වින්දිතයෙක්," ඇය පවසයි.

"ප්‍රසිද්ධියේ කතා කිරීම මට වැදගත්. මොක ද ඒකෙන් සමහර වින්දිතයන්ට තමන්ගේ අත්දැකීම් හඳුනාගෙන, තමනුත් වින්දිතයෙකු බව තේරුම් ගෙන, පසුව තමන්ගේ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට හැකි වෙනවා."

"අප ජීවත් වන ලෝකයේ තමන් අත්විඳි දේ ගැන හඬ නැගීම අවශ්‍ය යි. ලිංගිකත්වය මත පදනම් වූ වෙනස්කම් සහ ලිංගික හිංසනය ගැන කතා කිරීම වැදගත්."