වන ගිනි ඕස්ට්‍රේලියාව වනසයි

Published

ඕස්ට්‍රේලියාවේ, වික්ටෝරියා ප්‍රාන්තයේ වේගයෙන් පැතිර යමින් පවතින වන ගිනි හේතුවෙන් මේ වන විට නිවාස සිය ගණනක් විනාශ වී ඇත.

නිවාඩු ගත කරන්නන් අතර ඉතාම ජනප්‍රිය නගර කීපයක් සහ නිවාඩු නිකේතන පිහිටි කලාප වලටයි වන ගිනි මගින් වැඩිම හානිය සිදු කර තිබෙන්නේ.

වන ගිනි පැතිරෙත්ම නගරවාසීන් සහ නිවාඩු ගත කිරීමට පැමිණ සිටි ජනයා ආරක්ෂාව පතා පළා ගිය අතර අනතුර දරුණු අතට හැරීමත් සමඟ නත්තල් සාද සහ උත්සව ආදිය පවා අත්හැර දැමීමට සිදු වූ බවයි වික්ටෝරියා ප්‍රාන්තයෙන් ලැබෙමින් පවතින වාර්තා මගින් පැවසෙන්නේ.

ගිනි මැඩලීමට ගනු ලබන ප්‍රයත්නයට වර්ෂාවත් උදව් වූ බව එම වාර්තාවන්හි දැක්වෙයි.

එහෙත් ගිනි නිවන්නන් වන ගින්න සහමුලින්ම මැඩලීමට තවමත් සමත් වී නැත.

මෙම ගිනි පැතිර යාම ආරම්භ වුනේ පසුගිය සතියේයි.

සුළං සමඟ ගින්න පාලනය කර ගත නොහැකි මට්ටමින් පැතිරෙන්නට පටන් ගත් අතර ඒ සමඟ උෂ්ණත්වය ද දරා ගත නොහැකි මට්ටමින් ඉහළ ගොස් තිබුණි.