ශ්‍රී ලංකාවේ පිපිරීම්: කඳුලින් තෙත් වූ මීගමුව

Sri Lanka Mass Funeral
ඡායාරූප ශීර්ෂ වැකිය, මීගමුව ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ දී ප්‍රහාරයෙන් මියගිය 30 දෙනෙකුගේ අවමංගල කටයුතු අද උදෑසන පැවැත්විණි
Published

පාස්කු ඉරිදා (අප්‍රේල් 21) මීගමුව කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන්ගේ දේහ, අද දින (අප්‍රේල් 23) පැවැත්වූ දේව මෙහෙයෙන් පසු දේවස්ථාන සුසාන භූමියේ දී භූමදානය කෙරිණි.

පිපිරිම් වලින් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 321 දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසීය. එමෙන්ම, ප්‍රහාරවලින් තුවාල ලැබූ සංඛ්‍යාව 500 ඉක්මවා තිබෙන බව ද බලධාරීහු පවසති.

අද දින ජාතික ශෝක දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබිණි.

Sri Lanka Mass Funeral
ඡායාරූප ශීර්ෂ වැකිය, පිපිරිම්වලින් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 321 දක්වා ඉහළ ගොස් ඇත

දිවයින පුරා පිහිටි සියලු රජයේ ගොඩනැගිලිවල සහ රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර ඇති අතර බෝම්බ ප්‍රහාරවලින් මියගිය අයට ගෞරව කිරීම සඳහා උදෑසන 8.30 සිට මිනිත්තු තුනක නිශ්ශබ්දතාවක් පළ කෙරිණි.

මීගමුව ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ දී ප්‍රහාරයෙන් මියගිය 30 දෙනෙකුගේ අවමංගල කටයුතු අද උදෑසන පැවැත්විණි. ඉතා දුක්බර පරිසරයක් තුළ බොහෝ දෙනෙකු සිය නෙත් කඳුලින් පුරවාගෙන සිටිනු දක්නට ලැබිණි.

Sri Lanka Mass Funeral

එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර ඒ සඳහා පොලිස්, පොලිස් විශේෂ කාර්ය බළකාය , යුධ ,ගුවන්, සහ නාවික හමුදාව යොදා තිබිණි.

මේ අතර, අද දින (අප්‍රේල් 23) පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ සභාව අමතමින් ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන කියා සිටියේ, "මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ මෙම ප්‍රහාර එල්ල කර තිබෙන්නේ මාර්තු මස නවසීලන්තයේ සිදු වූ ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරයට ප්‍රති ප්‍රහාරයක් ලෙසයි," යනුවෙනි. ඔහු මේ පිළිබඳ වැඩිදුර විස්තර ඉදිරිපත් නොකළේය.

Sri Lanka Mass Funeral
ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර ඒ සඳහා පොලිස්, පොලිස් විශේෂ කාර්ය බළකාය , යුධ ,ගුවන්, සහ නාවික හමුදාව යොදා තිබේ

කෙසේනමුත්, අවමංගල්‍ය උත්සව පැවැත්වෙන අතරවාරයේ, අයිඑස් සංවිධානය ප්‍රහාරයේ වගකීම භාරගත් බව සඳහන් කරමින් නිවේදනයක් ද නිකුත් කර තිබිණි.

අවමංගල්‍ය උත්සව පැවැත්වෙන අතරවාරයේ සමාජ මාධ්‍ය ජාලවල පළ වූ සංවේගාත්මක සටහන් කීපයක්:

Sri Lanka Mass Funeral

කතෝලික පාසලක ඉගෙනුම ලැබූ මැලේ ජාතිකයෙකු වන තුවාන් ශකීර් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ මෙසේ සිය අදහස් පළ කර තිබිණි.

Sri Lanka Mass Funeral

විදේශගතව සිටින බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ සමාජ මාධ්‍ය ජාල පිටුවල මෙවැනි වැකි දක්නට ලැබිණි.

Sri Lanka Mass Funeral
Sri Lanka Mass Funeral

මේ තොරතුරුද කියවන්න:

මෙම ප්‍රහාර සිදු වීමට පෙර දැන සිටියා ද?

ශ්‍රී ලංකාව තුළ ප්‍රහාරයක් සිදු විය හැකි බවට අනතුරු අඟවමින් අප්‍රේල් 11 වෙනිදා බුද්ධි අංශ විසින් නිකුත් කරනු ලැබ ඇතැයි සඳහන් ලිපියක ඡායාරූප එකතුවක් පිපිරීම් සිදුවීමත් සමග සමාජ ජාල ඔස්සේ හුවමාරු විය.

ඒ සම්බන්ධයෙන් ඉරිදා ප්‍රකාශයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර කියා සිටියේ අදාළ ලිපිය සම්බන්ධයෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) පරීක්ෂණ ආරම්භ කර ඇති බවය.

ඉන් අනතුරුව පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ ප්‍රහාර පිළිබඳ යම් තොරතුරු කලින් ලැබී තිබුණ ද ඒ පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම බරපතල කාරණයක් බවය.

වැඩි විස්තර කියවන්න:

මේ අතර අගමැතිවරයාගේ මාධ්‍ය හමුවට පෙර මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කියා සිටියේ බුද්ධි අංශ විසින් අනතුරු අඟවා නිකුත් කරන ලද ලිපිය තමන් වෙත ලැබුණේ ප්‍රහාරය සිදු වූ දිනයේ බවය. (අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් එහි ඡායාරූප කිහිපයක් ෆෙස්බුක්හි පළ කර තිබිණි.)

එමෙන්ම, ප්‍රහාර පිළිබඳ යම් තොරතුරු කලින් ලැබී තිබුණ ද ඒ පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොතිබීම බරපතල කාරණයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉරිදා කියා සිටියේය.

මෙවැනි ප්‍රහාරයක් එල්ලවන බවට ජාත්‍යන්තර ඔත්තු සේවා මගින් අප්‍රේල් 04 වෙනිදා ආරක්ෂක අමාත්‍යාංශය දැනුවත් කර ඇතැයි අමාත්‍ය රාජිත සේනාරත්න සඳුදා (අප්‍රේල් 22) මාධ්‍ය අමතමින් කියා සිටියේය.