අතුරුදහන් ශ්‍රී ලාංකික ධීවරයන් සොයාගැනීමට සහාය වූ ඇමෙරිකානු නාවික හමුදාව

P-8A ඇමෙරිකානු නාවික හමුදා ගුවන් යානය
Published

ඉන්දීය සාගරයේ අතුරුදහන්ව සිටි ශ්‍රී ලාංකික ධීවරයන් පිරිසක් බේරාගැනීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන්ට සහාය වූ බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසයි.

පසුගිය ඉරිදා (ජුලි 08) වෙනි දින දෙවුන්දර තුඩුවෙන් මුහුදු ගිය ශ්‍රී ලාංකික ධීවරයන් හය දෙනෙකු සොයාගැනීම පිණිස සහාය දෙන මෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව එක්සත් ජනපදයෙන් ඉල්ලීමක් කර තිබේ.

එහිදී දියාගෝ ගාර්ෂියා දූපතේ පිහිටි ඇමෙරිකානු හත්වෙනි නාවික සේනාංක කඳවුරේ සිට පිටත් කරන ලද P-8A නාවික හමුදා ගුවන් යානය විසින් අතුරුදහන් වූ ධීවර යාත්‍රාව සොයාගන්නා ලද බව කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය නිකුත්කළ නිවේදනයක සඳහන් වේ.

අඟහරුවාදා (ජුලි 10) ඔවුන් සොයාගැනීමෙන් අනතුරුව ධීවරයන් පිරිස බේරාගැනීම පිණිස ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකාවක් සහ තවත් වාණිජ යාත්‍රාවක් එම ස්ථානයට පිටත්කොට තිබේ.

අතුරුදහන්ව සිටි ධීවරයෝ
අතුරුදහන්ව සිටි ධීවරයෝ

P-8A යනු නාවික හමුදා මුරසංචාර පිණිස යොදාගනු ලබන අලුත්ම සහ විශ්වසනීයම ගුවන් යානය බව ද නිවේදනයේ සඳහන් වේ.

මේ වසරේ සිය 75 වෙනි සංවත්සරය සමරන ඇමෙරිකානු හත්වෙනි නාවික සේනාංකය, රටවල් 36ක නාවික බල ප්‍රදේශ සහ ලොව පුරා ජනගහනයෙන් අඩක් පමණම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වේ.

තවත් කියවන්න: