ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.

ප්‍රධාන වෙබ් අඩවියට ගෙන යන්න

අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න

'අපේ අයවැය යෝජනා කඩදාසියට පමණක් සීමා වන්නේ නැහැ' - ජනපති

2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද සිදු කෙරිණි. මෙය ඔහුගේ නායකත්වයෙන් යුත් රජය ඉදිරිපත් කරන තෙවැනි අයවැයයි.

සාරාංශය

  • මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක 2027 අයවැය කතාව අද ඉදිරිපත් කළේ ය
  • මෙය ඔහුගේ නායකත්වයෙන් යුත් රජය ඉදිරිපත් කළ තෙවන අයවැයයි
  • 2027 වසරේ එක් එක් අංශ සඳහා රජය වෙන් කිරීමට යෝජනා කරන මුදල් පිළිබඳ විස්තර අයවැය යෝජනාවලට ඇතුළත් විය
  • අයවැය විවාදය හෙට සිට

සජීවී වාර්තාකරණය

බීබීසී සිංහල

  1. විදේශගත ශ්‍රමිකයන්ට රු. ලක්ෂ 50ක සහනදායී නිවාස ණය යෝජනා ක්‍රමයක්

    විදේශගත ශ්‍රමිකයන්ගේ නිවාස අවශ්‍යතා සපුරාලීම සඳහා රු. ලක්ෂ 50ක් දක්වා වූ ඉහළ සහන සහිත නිවාස ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා පවසනවා.

    මෙම යෝජනා ක්‍රමය යටතේ, රු. ලක්ෂ 30ක් දක්වා 10%ක පොළී සහනාධාරයක් ද ඉතිරි රු. ලක්ෂ 20 සඳහා 5%ක පොළී සහනාධාරයක් ලබා දීමට කටයුතු කරන බව ඔහු සඳහන් කරනවා.

    පළමු රු. ලක්ෂ 30 සඳහා 6%ක දායකත්වයක් රජය විසින් ද, 4%ක දායකත්වයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ද ඉතිරි රු. ලක්ෂ 20 සඳහා 3%ක දායකත්වයක් රජය විසින් ද, 2%ක දායකත්වයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ද දැරීමට යෝජනා කරන බව ජනාධිපතිවරයා පවසනවා.

    මෙම පොළී සහනාධාර යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා 2027 වර්ෂයේදී රජයේ දායකත්වය ලෙස රු. මිලියන 1,000ක මුදලක් වෙන් කිරීමට යෝජනා කරන බව ඔහු සඳහන් කරනවා.

  2. සෑම අමාත්‍යංශයක ම ආබාධිතතා අන්තර්කරණ කේන්ද්‍රස්ථාන පිහිටුවීමට යෝජනා

    ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් සෑම අමාත්‍යංශයක ම, දෙපාර්තමේන්තුවක සහ ප්‍රධාන රාජ්‍ය ආයතනයක ආබාධිතතා අන්තර්කරණ කේන්ද්‍රස්ථානයක් (Disability Inclusion Focal Point) ස්ථාපනය කරන බව ජනාධිපතිවරයා පවසනවා.

    ආබාධ සහිත තැනැත්තන්ගේ එදිනෙදා ජීවිතය පහසු කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ, වෛද්‍ය හෝ වෙනත් පහසුකම් සපයා ගැනීමට හැකියාවක් නොමැති පිරිසට එම පහසුකම් සලසා දීම සඳහා රු. මිලියන 150ක මුදලක් ආබාධිත තැනැත්තන් සඳහා වන ලේකම් කාර්යාලය යටතේ වෙන් කර ඇති බව ඔහු සඳහන් කරනවා.

  3. අස්වැසුම ඇතුළු සමාජ ආරක්ෂණ දීමනා සඳහා රු. බිලියන 230ක්

    ආර්ථික අපහසුතා අවම කිරීම සඳහා, දුප්පත් සහ අන්ත දුප්පත් කාණ්ඩයන්ට අස්වැසුම ප්‍රතිලාභ තවදුරටත් ලබා දෙමින් ඔවුන්ගේ සමාජ ආරක්ෂාව තහවුරු කිරීමට 2027 වසරේදී අස්වැසුම ඇතුළු සමාජ ආරක්ෂණ දීමනා සඳහා රු. බිලියන 230ක් වෙන් කර ඇතැයි ජනාධිපතිවරයා පවසනවා.

    ඔහු සඳහන් කරන්නේ, වකුගඩු රෝගීන් සඳහා ලබා දෙන මාසික දීමනාව රු. 10,000 සිට 12,500 දක්වා රු. 2,500කින් වැඩි කරන බවයි.

    ආබාධ සහිත පුද්ගලයන් සඳහා ලබා දෙන මාසික දීමනාව රු. 10,000 සිට රු. 12,500 දක්වා රු. 2,500කින් වැඩි කරන බව ද ඔහු පවසනවා.

    දිළිඳුකම තුරන් කිරීම සඳහා ප්‍රමුඛ අවධානය යොමු කරමින්, ප්‍රජා ශක්ති ජාතික ව්‍යාපාරය යටතේ, ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීම සඳහා රු. මිලියන 25,000ක් වෙන් කර තිබෙනවා.

    ආසියානු සංවර්ධන බැංකුවේ සහ ලෝක බැංකුවේ අරමුදල් සපයන ව්‍යාපෘතිවල සහය ඇතිව සවිබල ගැන්වීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ අතර, විභවතාවය සහිත, සුදුසුකම්ලත් පවුල් ක්‍රමානුකූලව සවි බලගැන්වීමේ වැඩසටහන සඳහා රු. මිලියන 4,500ක් වෙන් කර ඇතැයි ජනාධිපතිවරයා පවසනවා.

  4. ජාත්‍යන්තර ක්‍රීඩා රන් පදක්කම්ලාභීන්ට රුපියල් මිලියන 100ක් දක්වා දීමනා

    ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීම සඳහා ටොරින්ටන් සහ දියගම ආශ්‍රිතව ජාතික ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයක් පිහිටුවීමට රුපියල් මිලියන 300ක් වෙන් කරන බව ජනාධිපතිවරයා පවසනවා.

    සුගතදාස ක්‍රීඩා සංකීර්ණය නවීකරණයට සහ කෘත්‍රිම ධාවන පථයක් ඉදිකිරීමට රුපියල් මිලියන 1,500ක් ද, පාසල් සිසුන් සහ තරුණ ප්‍රජාව අතර ක්‍රීඩා සංස්කෘතියක් ප්‍රවර්ධනයට රුපියල් මිලියන 2,500ක් ද වෙන් කිරීමට යෝජනා කර තිබෙනවා.

    අනුරාධපුර ක්‍රීඩා සංකීර්ණයේ ඉදිකිරීම් සඳහා වෙන් කර තිබූ මුදල රුපියල් මිලියන 50 සිට මිලියන 1,000 දක්වා ඉහළ නැංවීමට ද යෝජනා කරනවා. ජාතික මට්ටමේ දක්ෂතා දක්වන පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශ සහ රැකියා අවස්ථා වැඩි කිරීමටත් පියවර ගන්නා බව ජනාධිපතිවරයා සඳහන් කළා.

    ජාත්‍යන්තර තරගවල රන් පදක්කම්ලාභීන්ට ඔලිම්පික් සහ ලෝක මලල ක්‍රීඩා රන් පදක්කමක් සඳහා රුපියල් මිලියන 100 බැගින් ද, පොදු රාජ්‍ය මණ්ඩලීය රන් පදක්කමක් සඳහා මිලියන 75ක් ද, ආසියානු රන් පදක්කමක් සඳහා මිලියන 50ක් ද, සාර්ක් රන් පදක්කමක් සඳහා මිලියන 15ක් ද ලබාදීමට යෝජනා කර තිබෙනවා. රිදී හා ලෝකඩ පදක්කම් සඳහා ද දීමනා ලබාදීමට නියමිතයි.

    තරුණ තරුණියන් දේශපාලන හා ප්‍රජා නායකත්වයට පුහුණු කිරීම සඳහා තරුණ දේශපාලන නායකත්ව ඇකඩමියක් පිහිටුවීමට 2027 වසරට රුපියල් මිලියන 77.5ක් ද, තරුණ නවෝත්පාදන පර්යේෂණ හා සංවර්ධනය සඳහා මිලියන 45ක් ද වෙන් කරන බව ජනාධිපතිවරයා පවසනවා.

  5. ගොවිජන සේවා මධ්‍යස්ථානවලට නව පහසුකම් සහ ඒකාබද්ධ පොහොර වැඩපිළිවෙළක්

    ගොවිජන සේවා මධ්‍යස්ථාන ඩිජිටල් යටිතල පහසුකම්, යන්ත්‍රෝපකරණ සංචිත, ගොවි ජනතාව සවිබල ගැන්වීම සහ තත්‍ය කාලීන තොරතුරු හුවමාරු කිරීමේ පහසුකම් සහිත සියලු සේවා සපයන මධ්‍යස්ථාන බවට පත් කරන බව ජනාධිපතිවරයා පවසනවා.

    ඒ සඳහා ප්‍රධාන කෘෂිකාර්මික දිස්ත්‍රික්ක පහක නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රුපියල් මිලියන 250ක් වෙන් කර තිබෙනවා.

    තව ද රසායනික හා කාබනික පොහොර ඒකාබද්ධ භාවිතය ප්‍රවර්ධනය කිරීම, වගා ඵලදායීතාව ඉහළ නැංවීම සහ පසෙහි ගුණාත්මකභාවය හා පෝෂණ තත්ත්වය ශක්තිමත් කිරීම සඳහා සිව් අවුරුදු ඒකාබද්ධ ශාක පෝෂක කළමනාකරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

    එහි ආරම්භක කටයුතු සඳහා 2027 වසරේදී රුපියල් මිලියන 47ක් වෙන් කිරීමට යෝජනා කර තිබෙනවා.

  6. මධ්‍යම හා රුවන්පුර අධිවේගී මාර්ග ඉදිකිරීම් සඳහා මුදල් වෙන් කෙරේ

    මධ්‍යම අධිවේගී මාර්ගයේ සිව්වන අදියර වන කුරුණෑගල – දඹුල්ල අධිවේගී මාර්ගයේ පළමු පියවර ලෙස කුරුණෑගල සිට ගලේවෙල දක්වා කොටස ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 30,000ක් වෙන් කිරීමට යෝජනා කරන බව ජනාධිපතිවරයා පවසනවා.

    එමෙන් ම, මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටස 2028 සැප්තැම්බර් මාසය වන විට අවසන් කිරීම සඳහා 2027 වසරට රුපියල් මිලියන 53,450ක් වෙන් කරන බව ද ඔහු සඳහන් කළා.

    ඊට අමතරව, රඹුක්කන – ගලගෙදර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් 2029 ජූලි මාසය වන විට අවසන් කිරීම සඳහා රුපියල් මිලියන 23,050ක් වෙන් කරන බව ද ජනාධිපතිවරයා පවසනවා.

    තව ද, රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කහතුඩුව සිට ඉංගිරිය දක්වා කොටස සංවර්ධනය කිරීම සඳහා 2026 වසරේ මූලික කටයුතුවලට රුපියල් මිලියන 18,880ක් දැනටමත් වෙන් කර තිබෙනවා.

    එහි ඉදිකිරීම් කටයුතු දෙසැම්බර් 1 වන දා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර, 2027 වසර සඳහා තවත් රුපියල් මිලියන 27,000ක් වෙන් කිරීමට යෝජනා කරන බව ජනාධිපතිවරයා සඳහන් කරනවා.

  7. කෘත්‍රිම බුද්ධිය පිළිබඳ විශිෂ්ටතා කේන්ද්‍රයක් විජේරාම මාවතට

    ඩිජිටල් ආර්ථිකය නංවාලීම සහ වගකීම් සහිත AI භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා විශිෂ්ටතා කේන්ද්‍රයක් විජේරාම මාවතේ පිහිටුවීමට රජය යෝජනා කරනවා.

    ඊට අමතරව පාසල් සිසුන් සඳහා ඩිජිටල් සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහා තෝරාගත් ළමුන් 750,000කට බ්‍රෝඩ්බෑන්ඩ් වවුචර් පතක් ලබා දෙන බව ද ජනාධිපතිවරයා පවසනවා.

    තව ද ඩිජිටල් පරිවර්තනය වෙනුවෙන් නව අධිකාරියක් පිහිටුවීමට පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළා.

    තව ද ජනාධිපතිවරයා පැවසුවේ, නව සන්නිවේදන කුළුණු සඳහා වසර පහක බදු සහනයක් ලබා දී ඇති බවත්, 2030 වන විට අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල ආවරණය පුළුල් කිරීම සඳහා කුළුණු 700–800ක් ඉදිකිරීමේ අවශ්‍යතාව ඇති බව ත් ය.

    ඉන් කුළුණු 573ක ඉදිකිරීම් මේ වන විට ආරම්භ කර ඇති අතර, ඒවා 2028 වන විට අවසන් කිරීමට නියමිත බව ද ඔහු සඳහන් කළා.

  8. වහල මත සූර්ය පැනල සහිත පාරිභෝගිකයින්ට බැටරි සඳහා සහන

    වහල මත සූර්ය පැනල සඳහා බැටරි ආනයනයේදී අය කරන වරාය සහ ගුවන්තොටුපොළ 10%ක බද්ද ඉවත දමන බව ජනපති පවසයි.

    එමෙන් ම, කිලෝවොට් 1ක බැටරියක් සඳහා රුපියල් 25,000ක සහනාධාරයක් ලබා දෙන බව ද ඔහු සඳහන් කළා.

  9. 'ශ්‍රීලන්කන් ගුවන් සේවය භාණ්ඩාගාරයට "බරක්"' - ජනපති

    පවතින පනත් කිහිපයක් සංශෝධනය කරන බව සහ නව පනත් කිහිපයක් ඉදිරියේදී ඉදිරිපත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

    මුදල් අමාත්‍යවරයා ලෙස අයවැය කතාව ඉදිරිපත් කරමින් ඔහු පැවසුවේ, 2018 වසරෙදී ශ්‍රීලන්කන් ගුවන් සේවය ආපසු පවරා ගත් දින සිට 2025 දක්වා සමස්ත සමුච්චිත අලාභය රු. බිලියන 528ක් බවයි.

    එය භාණ්ඩාගාරයට "බරක්" වී ඇති බව ද ඔහු එහිදී සඳහන් කළා. ඒ අනුව ඊට විසඳුම් සෙවීම සඳහා අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කළ බව ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා.

    මේ අතර, සුදූ අධිකාරී පනතට නියාමන කොන්දේසි ගෙන එන බවත් 2027 වසර මුලදී රේගු ආඥා පනත සංශෝධනය කරන බවත් ජනපතිවරයා සඳහන් කළා.

    මුදල් ව්‍යාපාර පනත සංශෝධනය කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද ඔහු පැවසුවා.

    ඊට අමතවර රටේ විදුලි ජාල පද්ධතිය ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් බිලියන 26.5ක් වෙන් කිරීමට යෝජනා කරන බව ජනාධිපතිවරයා සඳහන් කළා.

    තව ද චීනය සමග නිදහස් වෙළෙඳ ගිවිසුමක් සඳහා එළඹීමට බලාපොරොත්තු වන බව ද ඔහු පැවසුවා.

  10. අයවැය කතාව ඇරඹේ

    මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2027 අයවැය කතාව ඉදිරිපත් කිරීම මීට සුළු මොහොතකට පෙර ආරම්භ කළා.

  11. Breaking, පාර්ලිමේන්තු කටයුතු ඇරඹෙයි

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කටයුතු මීට සුළු මොහොතකට පෙර ඇරඹුණා.

    මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2027 අයවැය කතාව අද ඉදිරිපත් කිරීමට නියමිත අතර ඒ පිළිබඳ තොරතුරු ගෙන ඒමට අප සූදානමින්.

  12. Breaking, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් පාර්ලිමේන්තුවට...

    මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් අනෙක් අමුත්තන් පාර්ලිමේන්තුව වෙත පැමිණෙමින් සිටින බව එහි සිටින අප වාර්තාකරු පවසනවා.

  13. අයවැයට පෙර ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ඔබ දැනගත යුතු කරුණු

  14. අඩු ම ප්‍රතිපාදන වෙන් වී ඇති අමාත්‍යංශ මොනවා ද?

    2027 විසර්ජන පනත් කෙටුම්පතට අනුව අමාත්‍යාංශ අතර අඩු ම ප්‍රතිපාදනයක් වෙන් කිරීමට යෝජනා කර ඇත්තේ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයටයි.

    අමාත්‍ය වසන්ත සමරසිංහගේ එම අමාත්‍යාංශයට වෙන් කිරීමට යෝජිත මුළු මුදල රුපියල් බිලියන 3.4ක්.

    එම අමාත්‍යාංශය සඳහා වෙන් කර ඇති මුදලින් රුපියල් බිලියන 2.4ක් පුනරාවර්තන වියදම් සඳහා ද, රුපියල් බිලියනයක් ප්‍රාග්ධන වියදම් සඳහා ද වෙන් කර තිබෙනවා.

  15. වැඩි ම මුදලක් වෙන් කර ඇති අමාත්‍යංශ මොනවා ද?

    2027 විසර්ජන පනත් කෙටුම්පතට අනුව අමාත්‍යාශවලට ලබාදෙන ප්‍රතිපාදන වලින් වැඩි ම මුදලක් වෙන් කිරීමට යෝජනා කර ඇත්තේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට යි.

    ඒ සඳහා යෝජිත මුළු මුදල රුපියල් බිලියන 856.85ක්.

    එම අමාත්‍යාංශයේ ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කර ඇති මුදල, පුනරාවර්තන වියදම් සඳහා වෙන් කර ඇති මුදලට වඩා වැඩියි.

  16. ජනපතිට රු. බිලියන 11.2ක්, මැතිවරණ කොමිසමට රු. බිලියන 10.5ක්

    මෙවර විසර්ජන පනත් කෙටුම්පතින් ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සඳහා වෙන් කර ඇති සමස්ත මුදල රුපියල් බිලියන 11.2කට ආසන්නයි.

    ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය යටතේ වෙන් කර ඇති මුදලින් රුපියල් බිලියන 8.1ක් සංවර්ධන වැඩසටහන් සඳහා වෙන් කර තිබෙනවා.

    එය, එම වැය ශීර්ෂය යටතේ ඇති මුළු ප්‍රතිපාදනයෙන් වැඩි කොටසක්.

    අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහා වෙන් කර ඇත්තේ රුපියල් බිලියන 1.02කි. ජනාධිපතිවරයාට පසුව විශේෂ වියදම් ඒකක අතරින් වැඩි ම මුදලක් වෙන් කර ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාව සඳහා යි. එම මුදල රුපියල් බිලියන 10.58ක්.

  17. ආයුබෝවන්!

    2027 වසර සඳහා වන රජයේ අයවැය යෝජනා, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (නොවැ. 12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. විසර්ජන පනත් කෙටුම්පත පළමු වර කියවීම, පසුගිය ඔක්. 07 වන දින කම්කරු අමාත්‍ය සහ මුදල්, ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස අනිල් ජයන්ත ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී සිදු කළා.

    ජනාධිපතිවරයාගේ අයවැය කතාව විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම ලෙස සැලකෙනවා. දෙවන වර කියවීමේ විවාදය, සහ තුන්වන වර කියවීමේ විවාදයෙන් එය සම්මත වීම දක්වා මෙම ලේඛනය හැඳින්වෙන්නේ විසර්ජන පනත් කෙටුම්පත ලෙස යි.

    මෙහි මීළඟ වසරේ එක් එක් වැය ශීර්ෂ සඳහා රජය විසින් ලබා දීමට යෝජිත මුදල් සම්බන්ධයෙන් සඳහන් වන අතර, මෙම අරමුදල් වෙන් කිරීම් අයවැය විවාද අතරතුර වෙනස් වීමට ඉඩ තිබෙනවා.

    විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය නොවැ.13 සිට නොවැ. 20 දක්වා පැවැත්වීමට නියමිත අතර දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැ. 20 වන දින පස්වරු 6.00ට සිදුකිරීමට නියමිත ය.

    ඒ සම්බන්ධ නවතම තොරතුරු සහ පාර්ලිමේන්තුවේ සිදුවන දෑ පිළිබඳ සජීව තොරතුරු මෙම පිටුව ඔස්සේ ඔබට දැනගත හැකියි.