නකල්ස් රක්ෂිතයේ රහසිගතව වාසය කළ බාලවයස්කාර මවක සහ බිළිඳියක සොයාගැනීම: අනාවරණය වී ඇති කරුණු මොනවා ද?

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 5

නකල්ස් වනාන්තර ප්‍රදේශයක රහසිගතව දිවි ගෙවමින් සිටියදී සොයා ගන්නා ලද බාලවයස්කාර මව සහ මාස දෙකක් පමණ වන බිළිඳිය තවදුරටත් මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය පවසයි.

අදාළ බිළිදියගේ පියා යැයි හඳුන්වන 23 හැවිරිදි පුද්ගලයා තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇති අතර ඔවුන්ට සහය දුන් බව කියන 36 හැවිරිදි පුද්ගලයෙකු ලබන 20 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ළමා මව සහ බිළිඳිය පිළිබඳව පරිවාස දෙපාර්තුමේන්තුවේ වාර්තාවක් ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කර ඉදිරි ක්‍රියාමාර්ග සිදුකරනු ලබන බව උඩුදුම්බර පොලිසියේ ප්‍රකාශයෙක් බීබීසී සිංහල සේවය කළ විමසීමකදී කියා සිටියේ ය.

ප්‍රේම සබඳතාවේ සිට අතුරුදන්වීම දක්වා

15 හැවිරිදි ළමා මවක මාස දෙකක් පමණ වයසැති බිළිඳියක සමග නකල්ස් කැළෑබද ප්‍රදේශයකින් සොයා ගැනීම රටේ කතා බහක් ඇති කළ අතර බීබීසී සිංහල සේවය එම සිදුවීම සම්බන්ධව කරුණු සොයා බැලීමක් කළේ ය.

ඒ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් කළ විමසීමකදී සඳහන් කළේ, දැනට සිදුකර ඇති විමර්ශනවලට අනුව බාලවයස්කාර මව සහ බිළිඳියගේ පියා යැයි පවසන 23 හැවිරිදි තරුණයා අතර 2023 වසරේ සිට ප්‍රේම සම්බන්ධතාවක් පැවති බව අනාවරණය වී ඇති බව ය.

එම කාලයේදී ඔවුන් දෙදෙනා අතර, ලිංගික සබඳතා ද පැවති බව පොලිසියට කරුණු අනාවරණය වී තිබේ.

ඔවුන්ට ආධාර උපකාර කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති තරුණයා සමග ද එම දැරිවිය ප්‍රේම සබඳතාවක් පවත්වා ඇති බව අනාවරණය වී ඇති අතර අදාළ තරුණයන් දෙදෙනා ම ඥාතීන් බවත් පොලිසිය හඳුනාගෙන ඇත.

දරුවෙකු පිළිසිඳ ගත් බව දැනගත් පසුව එම බාලවයස්කාර දැරිය 23 හැවිරිදි තරුණයා සමග මේ වසරේ මැයි මාසයේදී පමණ අතුරුදන් වී තිබූ අතර, අදාළ අතුරුදන් වීම සම්බන්ධව මැයි මාසයේදී දැරියගේ දෙමාපියන් උඩුදුම්බර පොලිසිය වෙත පැමිණිලි කර තිබිණි.

අදාළ පැමිණිල්ල පිළිබඳව විමර්ශනය කරන අතරතුර ලැබුණු තොරතුරක් මත, නකල්ස් වනාන්තර ප්‍රදේශයක තාවකාලික වාඩියක සිටියදී බාලවයස්කාර මව සහ බිළිඳිය ඇතුළු පිරිස පොලිසිය විසින් සොයා ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.

'වින්නඹු කටයුතු කර ඇත්තේ පියා'

පොලිසිය කරන ලද විමර්ශනවලින් අනාවරණය වී ඇති පරිදි, අගෝස්තු මාසයේදී බාලවයස්කාර දැරිය දියණියක ප්‍රසූත කර ඇති අතර, දරුවා බිහි කිරීම සඳහා වින්නඹු කටයුතු කර ඇත්තේ දරුවාගේ පියා බව පවසන 23 හැවිරිදි තරුණයා යි.

තව ද, දැරිය සහ 23 හැවිරිදි තරුණයා අතුරුදන් වීමත් සමග 36 හැවිරිදි පුද්ගලයා ද ඔවුන් සොයා වනාන්තර ප්‍රදේශයට ගොස් ඇති අතර, පොලිසිය පවසන පරිදි එම තරුණයක් දෙදෙනා බාලවයස්කාර මව සහ බිළිඳිය සමග මාස කිහිපයක් එකට ජීවත් වී තිබේ.

මෙලෙස ඔවුන් කැළෑවේ සිටින අතර ජීවත්වීම සඳහා රා මැදීමේ කටයුතු කර ඇති අතර, එසේ ලබා ගන්නා රා අසල ගමක පුද්ගලයෙකුට ලබා දී එම පුද්ගලයා හරහා ඔවුන් ආහාර හා අනෙකුත් අවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වාගෙන ඇති බව ද විමර්ශනයේදී අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.

'අතිශය කම්පනකාරී පුවතක්' - කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය

වයස අවුරුදු 15ක පමණ දියණියක අනාරක්ෂිත දරු ප්‍රසූතියකින් අනතුරුව බිළිඳෙකු සමග සොයාගැනීමේ සිදුවීම අතිශය කම්පනකාරී පුවතක් බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

අදාළ බාලවයස්කාර මවගේ සහ බිළිඳියගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය මෙන් ම ඔවුන්ගේ අනාගත යහපැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් රජයේ පාර්ශවයෙන් කළ යුතු සියලු ම මැදිහත්වීම් කඩිනමින් සහ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට මේ වන විටත් අදාළ අංශ වෙත උපදෙස් දී බව එම නිවේදනයේ සඳහන් වේ.

මෙම සිදුවීම හුදෙකලා සිදුවීමක් ⁣ලෙස නොසලකන අතර වර්තමානයේ පවතින ආර්ථික, සමාජයීය, දේශපාලනික ඇතුළු විවිධ සංකීර්ණතා හේතුවෙන් දරුවන් විවිධ මට්ටම්වලින් සහ විවිධ ආකාරවලින් අනාරක්ෂිත වන බව අමාත්‍යවරිය පවසයි.

ඇය පෙන්වා දී ඇත්තේ, දෙමාපියන් සහ දරුවන් අතර පැවතිය යුතු අන්‍යෝන්‍ය සම්බන්ධතාව සහ සන්නිවේදනය ක්‍රමයෙන් ගිලිහෙමින් යාම මෙවන් සිදුවීම්වලට දැඩි ලෙස සාධක වන බව ය.

"මෙවැනි සමාජයීය ගැටලු සහ අනාරක්ෂිත තත්ත්වයන් දීර්ඝකාලීනව නිරීක්ෂණය කරමින්, අනාරක්ෂිතභාවයට පත්වන දරුවන් වෙනුවෙන් විධිමත් විසඳුමක් ලෙස එළඹෙන 2027 වසරේ සිට නව 'විකල්ප රැකවරණ ප්‍රතිපත්තියක්' ක්‍රියාත්මක කිරීමට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය මේ වන විටත් අයවැය ප්‍රතිපාදන වෙන්කර ගැනීම ඇතුළු සියලු කටයුතුවල නියැලෙමින් සිටින," බව ද සරෝජා පෝල්රාජ් ඇමතිවරිය නිකුත් කරන ලද නිවේදනයේ දැක්වේ.

'ගැහැනු දරුවන්ට හොඳ ලිංගික අධ්‍යාපනයක් පුංචි වයසේ ඉඳන් ම දෙන්න'

"අවුරුදු 18ට වඩා වයසැති පුද්ගලයෙක් විසින් වයස 16ට අඩු දරුවෙක්ව නොමග යවලා, එක්කගෙන ගිහිල්ලා මේ දරුවාට සිදුකරලා තිබෙන හානිය නීතිමය වරදක්, අපරාධමය වරදක්. මේක කිසිසේත් ම, ප්‍රහර්ශයට නංවන්න හරි මේක වීරත්වයක් හෝ උත්තරීතර ප්‍රේමයේ ප්‍රතිමූර්තිය ලෙස බිහිවෙච්ච අවස්ථාවක්වත් නෙවෙයි," අමාත්‍ය සරෝජා පෝල්රාජ් අදාළ සිදුවීම සම්බන්ධව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා ය.

මෙවැනි අවස්ථාවලදී අගතියට පත්වන්නේ ගැහැනු ළමයා බැවින් ගැහැනු දරුවන්ට හොඳ ලිංගික අධ්‍යාපනයක් ලබා දෙන ලෙස ද සරෝජා පෝල්රාජ් ඇමතිවරිය ගැහැනු දරුවන් සිටින දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියා ය.

"ගැහැනු ළමයි ඉන්න අම්මා තාත්තාට මම ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිනවා ඔබේ ගැහැනු දරුවා පරිස්සම් කර ගන්න එක වෙනුවෙන් හොඳ ලිංගිකත්ව අධ්‍යාපනයක් පුංචි වයසේ ඉඳන් ම දෙන්න. ඒ ලිංගික අධයාපනය වගේ ම මේ රටේ සමාන්‍ය පොදු නීතියත් දරුවන්ට උගන්වන්න."

බාලවයස්කාර දැරියක මවක බවට පත්වීම අපරාධයක් මෙන් ම ඛේදවාචයක් බවත්, එය කුමන හේතුවක් මත වුව ද සාධාරණිකරණය කළ නොහැකි බවත් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් වැඩිදුරටත් අවධාරණය කළා ය.

ඔබට සහයක් අවශ්‍ය ද?

ඔබත් ලිංගික හිංසනයක වින්දිතයෙක් ද? නැතිනම් බාල වයස්කරුවෙකු ලිංගික හිංසනයට ලක් වන බවක් ඔබට නිරීක්ෂණය වී තිබේ ද?

පහත අංක අමතා සහය ලබා ගන්න.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

ශ්‍රී ලංකා ළමා උපකාරක සේවය - 1929

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය

දුරකතන අංකය - 011-2444444

හදිසි ඇමතුම් අංකය - 109

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය

ළමා උපකාරක සේවය - 1938