ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සුරේෂ් සලේ ගැන වෛද්‍ය වාර්තා දුන් ජාතික රෝහලේ අධ්‍යක්ෂට සහ වෛද්‍යවරුන් 10 දෙනෙකුට නොතීසි
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 2
පාස්කු ඉරිදා එල්ල කළ මාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ පරීක්‍ෂා කර ඔහු සම්බන්ධයෙන් වාර්තා ඉදිරිපත් කළ ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයාට සහ වෛද්‍ය මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ වෛද්‍යවරුන් දස දෙනාට නොතීසි නිකුත් කර තිබේ.
කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, අදාළ වෛද්‍ය කාර්ය මණ්ඩලය ඔක්තෝබර් 06 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ය.
මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ කැඳවූ අවස්ථාවේදී අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් පිළිගනිමින් එලෙස නොතිසි නිකුත් කළේ ය.
නොතීසි නිකුත් කිරීමට හේතුව කුමක් ද?
සුරේෂ් සලේ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග මොනවා ද? යන්න සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වන ලෙස දැනුම් දෙමින් ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයාට සහ වෛද්‍ය මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ වෛද්‍යවරුන් දස දෙනාට මෙලෙස නොතිසි නිකුත් කෙරිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ මෝසමකට අනුව නඩුව කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කරුණු දැක්වූහ.
සුරේෂ් සලේ පසුගිය සැප්තැම්බර් 28 වන දා දක්වා ජාතික රෝහලේ රඳවා සිටිය යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර තිබූ බව පෙන්වා දුන් නිලධාරීහු, මේ වන විට එම දිනය පසුවි ඇති බැවින් ඔසු සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග මොනවා ද? යන්න සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙස නියම කරමින් ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයාට සහ වෛද්‍ය මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ වෛද්‍යවරුන් දස දෙනාට නොතීසි නිකුත් කරන්නැයි ඉල්ලීමක් කළහ.
කරුණු සලකා බැලීමෙන් අනතුරුව රහස් පොලිසිය කළ ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයාට සහ වෛද්‍ය මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ වෛද්‍යවරුන් දස දෙනාට ඔක්තෝබර් 06 වන දා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස නියම කරමින් නොතිසි නිකුත් කළේ ය.