ජේසන් ආර්ඩේ: 'බුද්ධිමය සොරාගැනීම් කළ බවට' ආන්දෝලනයකට මැදිව සිටි කේම්බ්‍රිජ් මහාචාර්යවරයා මියගොස් සිටියදී හමුවෙයි

    • Author, ටොම් මැක්ආතර්
    • Author, බ්‍රැන්වෙන් ජෙෆ්රිස්
    • Role, අධ්‍යාපනික පුවත් සංස්කාරක
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 6

අන් අයගේ අදහස් තමන්ගේ ලෙස ඉදිරිපත් කරමින් බුද්ධිමය සොරාගැනීම් කළ බවට වන (plagiarism) ආන්දෝලනයකට මැදිව සිටි කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය ජේසන් ආර්ඩේ මියගොස් සිටියදී හමුවී තිබේ.

සිකුරාදා පස්වරුවේ දකුණු ලන්ඩනයේ බැටර්සීහි ස්ථානයකදී පුද්ගලයෙකු "කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන" තත්ත්වයෙන් හමුවූ බව හදිසි සේවා අංශ පැවසීය.

ඔහුගේ ඇතැම් සාමාර්ථයන් පිළිබඳ ප්‍රශ්න සහ බුද්ධිමය සොරාගැනීමේ චෝදනාවලින් පසුව, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනික සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය ආර්ඩේ පසුගිය සතියේ ඉල්ලා අස්විය. කෙසේ වෙතත්, ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබිණි.

"මෙවැනි විශිෂ්ට පියෙකු, සහකරුවෙකු, සහෝදරයෙකු, ඥාතියෙකු සහ පුත්‍රයෙකු අහිමි වීම පිළිබඳව තමන් දැඩි කම්පනයට පත්ව සිටින බව" ආර්ඩේගේ පවුලේ සමාජිකයෝ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළහ.

ඔවුන් තවදුරටත් මෙසේ සඳහන් කර තිබිණි: "සෑම කෙනෙකු තුළ ම යහපත් දේ දැකීමට සැමවිට ම අපේක්ෂා කළ මෘදු ගතිගුණ සහිත පුද්ගලයෙකු වූ ජේසන්ට, එම වැරදි තොරතුරු පතුරුවා හැරීමේ ව්‍යාපාරය දරාගත නොහැකි තරම් බරපතළ දෙයක් විය."

සිකුරාදා පෙරවරුවේ, ලන්ඩන් ගිලන්රථ සේවය විසින් බැටර්සී හි පිහිටි ස්ථානයකට පොලිස් නිලධාරීහු කැඳවනු ලැබූහ.

මෙට්‍රොපොලිටන් පොලිසිය නිකුත් කළ නිවේදනයක මෙසේ සඳහන් විය: "මේ මොහොතේ ඔහුගේ මරණය අනපේක්ෂිත සිදුවීමක් ලෙස සලකනු ලබන නමුත්, එය සැකකටයුතු මරණයක් ලෙස නොසැලකේ."

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඩෙබෝරා ප්‍රෙන්ටිස් මෙසේ පැවසුවා ය: "මෙම ඛේදජනක පුවත ඇසීමෙන් අපි දැඩි කම්පනයට හා ශෝකයට පත්ව සිටිමු."

"මෙම අතිශය දුෂ්කර අවස්ථාවේදී ජේසන් ආර්ඩේගේ පවුලේ සාමාජිකයින්ට සහ මිතුරන්ට අපගේ හෘදයාංගම ශෝකය පළ කර සිටිමු," ඇය පැවසුවා ය.

අධ්‍යාපන ලේකම් ලුසී පවෙල් පැවසුවේ, එම මරණය පිළිබඳව අසන්නට ලැබීමෙන් තමන් "දැඩි කම්පනයට හා ශෝකයට" පත්වූ බවත්, "මෙයට සම්බන්ධ වී සිටින්නේ ආදරණීයයන් සිටින සැබෑ පුද්ගලයන් බව සිහි තබා ගන්නා" ලෙස ඇය ජනතාවගෙන් ඉල්ලා සිටි බවත් ය.

41 හැවිරිදි ආර්ඩේ කිසිදු ආකාරයක අන් අයගේ පර්යේෂණ රචනා සොරකම් කිරීමක් සිදු කර නොමැති බවට ප්‍රකාශ කළ ද, තම පර්යේෂණාත්මක රචනාවල දෝෂ පැවති බව පිළිගත් අතර, පසුගිය සතියේ පැවසුවේ, තම ලේඛන සම්බන්ධයෙන් මෑතකදී ඇති වූ මතභේදය හේතුවෙන් "නොනවතින මහජන විමර්ශනයකට සහ පෞද්ගලික ප්‍රහාරවලට" ලක් වීමට සිදුවූ බව ය.

2024 දී කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ කථිකාචාරිය තනතුරකින් ඉවත් කරන ලද තවත් පුද්ගලයෙකු වන "වාර්ගික යථාර්ථවාදියෙකු" වශයෙන් ස්වයං නිර්වචනය කළ නේතන් කොෆ්නාස්, මහාචාර්යවරයාගේ කෘතිවල තිබී සොරාගත් ලේඛන රැසක් සොයා ගත් බව පැවසීමෙන් පසුව මෙම ආන්දෝලනය මුලින් ම ඇති විය.

තොරතුරු වටහා ගැනීම සඳහා අනුකරණය මත යැපීම නිසා තම මුල්කාලීන අධ්‍යයන ලේඛනවල යම් යම් දෝෂ මතු වූ බව ආර්ඩේ පැවසීය. මෙවැනි ම විමර්ශනයක් සිදු කළහොත් වෙනත් විද්වතුන්ගේ කටයුතුවලින් ද එවැනි දෝෂ හමුවනු ඇතැයි ඔහු සඳහන් කළේ ය.

ආර්ඩේ පැවසුවේ තම මුල්කාලීන අධ්‍යයන කෘතිවල තිබූ ඇතැම් දෝෂ ඔහුගේ ඔටිසම් තත්ත්වය නිසා ඇති වූ බවයි. තොරතුරු තේරුම් ගැනීමට තමන් අනුකරණ (mimicry) ක්‍රමය මත වැඩි වශයෙන් රඳා සිටි බවද ඔහු සඳහන් කළේය. එවැනිම විමර්ශනයක් සිදු කළහොත් අනෙකුත් ශාස්ත්‍රඥයන්ගේ කෘතිවලින්ද සමාන දෝෂ සොයාගත හැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය.

"අපි මෙහිදී කතා කරන්නේ අධ්‍යයන ක්ෂේත්‍රය ගැන යි. මම කිසිවෙකු ඝාතනය කළේ නැහැ. මට මුහුණ දීමට සිදුවූ කෲරත්වය සහ මා බොරුකාරයෙකු හා මනඃකල්පිත ලෝකයක ජීවත් වන්නෙකු ලෙස හංවඩු ගැසීම කිසිසේත් ම පිළිගත නොහැකි දෙයක්," යනුවෙන් ඔහු මෙම මස මුලදී 'ටයිම්ස්' පුවත්පතට පැවසීය.

2023 වසරේදී, වයස අවුරුදු 37 දී කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මෙතෙක් පත්වූ ළාබාලතම කළු ජාතික මහාචාර්යවරයා ලෙස ආර්ඩේ පත්වීම, එකල ප්‍රගතිශීලී පියවරක් ලෙස අගය කරන ලදී.

පසුගිය සතියේ සිය ඉල්ලා අස්වීම නිවේදනය කරමින් ආර්ඩේ පැවසුවේ, තමා පිළිබඳව සිදු කෙරෙන විමර්ශන හේතුවෙන් තමාට දැරීමට සිදුවන "පෞද්ගලික වන්දිය" (හෝ පෞද්ගලික වශයෙන් සිදුවන බලපෑම) "අධික" මට්ටමකට පත්ව ඇති බව ය.

ඔහු මෙසේ පැවසීය: "විද්වත් ජීවිතයේදී විවේචනය අනිවාර්ය අංගයක් වුව ද, මා අත්විඳි දේ විද්වත් මට්ටමේ මතභේදවලට වඩා බොහෝ ඔබ්බට ගිය තත්ත්වයක්."

"නොනවතින චෝදනා, අනුමාන සහ මහජන විචාර මා කෙරෙහි මෙන් ම මා ආදරය කරන අය කෙරෙහි ද දැඩි බලපෑමක් ඇති කර තිබෙනවා."

තමාගේ ඉල්ලා අස්වීම "තමා වටා ගොඩනැගී ඇති චෝදනා පිළිගැනීමක් ලෙස වරදවා වටහා නොගත යුතු" බව ඔහු අවධාරණය කළේ ය.

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය මුලින් පැවසුවේ, ආර්ඩේගේ නිබන්ධනය සහ සමහර සඟරා ප්‍රකාශන සම්බන්ධයෙන් වන සොරකම් කිරීමේ චෝදනා ලිවර්පූල් ජෝන් මුවර්ස් විශ්වවිද්‍යාලය (LJMU) සහ අදාළ සඟරා විසින් විමර්ශනය කරනු ලැබ ඇති බව ය.

2015 වසරේදී ආර්ඩේ වෙත ආචාර්ය උපාධිය පිරිනැමූ LJMU ආයතනය, ඔහු කිසිදු නිර්මාණයක් සොරකම් කර නොමැති බවට නිගමනය කළේ ය.

මෙම සතියේ මුලදී, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය ඔහුගේ පත්වීම පිළිබඳව ස්වාධීන විමර්ශනයක් සිදු කරන බව නිවේදනය කළේ ය.

එකල විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලය වෙත යොමු කළ ලිපියක මහාචාර්ය ප්‍රෙන්ටිස් මෙසේ සඳහන් කර තිබේ: "ජේසන් ආර්ඩේගේ පත්වීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය තුළ මෙන් ම ඉන් එපිට ද මතු වෙමින් පවතින ගැටලුසහගත අදහස් පිළිබඳව මාහට මනා අවබෝධයක් තිබේ."

"ඔබ පවසන පරිදි, එම විමර්ශනය පරිපූර්ණ හා විනිවිදභාවයෙන් යුක්ත විය යුතු අතර, එය කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය තුළ සහ ඉන් පිටත සිටින ජ්‍යෙෂ්ඨ විද්වතුන් ස්වාධීනව සිදු කරනු ඇත."

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය, තරුණ කළු ජාතික මහාචාර්යවරයෙකු ලෙස ආර්ඩේගේ පත්වීම සැමරීය. කළු ජාතික විද්වතුන් නියෝජනය කරන්නේ, ශාස්ත්‍රීය ක්ෂේත්‍රයේ ඉතා කුඩා හා දෘශ්‍යමාන සුළුතරයකි. එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාලවල මහාචාර්යවරුන්ගෙන් 1%ක් පමණක් කළු ජාතිකයන් වන අතර, එම එක් එක් පත්වීම අතිශයින් වැදගත් වේ.

ඔහු ඉතා වැදගත් තනතුරක පිහිටුවීමෙන් අනතුරුව, ඔහු කෙරෙහි පැවති 'සත්කාරක වගකීම'ඇතුළු වඩාත් බරපතළ ප්‍රශ්නවලට පිළිතුරු දීමට විශ්වවිද්‍යාලයට සිදුවනු ඇත.

ආර්ඩේ ප්‍රසිද්ධියේ පීඩාවට පත්වූ බව සිතන්නන් සහ ඔහු කිසිසේත් ම එම තනතුරට පත් කළ යුතුව තිබුණේ දැයි ප්‍රශ්න කරන්නන් ඇතුළු විවිධ පාර්ශවයන්ගෙන් එල්ල වන කෝපයට එය ඉලක්කයක් බවට පත්වීමට ද ඉඩ ඇත.

'ගුඩ් ලෝ ප්‍රොජෙක්ට්' නම් ප්‍රචාරක කණ්ඩායමේ ජෝලියන් මෝම් පැවසුවේ, ආර්ඩේගේ මරණය "ඛේදවාචකයක්" බව ය.

"මහාචාර්ය තනතුරෙන් ඉල්ලා අස්වීමෙන් පසුවත් ඔහු පසුපස හඹා යාමෙහි තිබූ මහජන අවශ්‍යතාව කුමක්දැයි මට නොවැටහෙන අතර, මාධ්‍ය ආයතන විසින් කුමන ආකාරයේ අවදානම් තක්සේරු කිරීම් සිදු කළේ ද යන්නත් මට නොතේරේ," යනුවෙන් මෝම් වැඩිදුරටත් පැවසීය.

බීබීසී නිව්ස්නයිට් වෙත අදහස් දක්වමින්, කළු ජාතික අධ්‍යයනයන් (Professor of Black Studies) පිළිබඳ මහාචාර්ය කෙහින්ඩේ ඇන්ඩෲස් සහ ආර්ඩේගේ මිතුරිය, කේම්බ්‍රිජ් වෙතින් ඉල්ලා අස්වීමෙන් පසු ඔහු "ඉතා කලකිරීමට පත්ව සිටි" බව විස්තර කළහ.

"ඔහු දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටියා. කිසිදු විසඳුමක් නොමැති බව ඔහුට හැඟී ගියා. ඇත්ත වශයෙන් ම ඔහු නිවසින් පිටතට නොගිය අතර, ඔහුගේ සිරුරේ බර ද විශාල ලෙස අඩු වී තිබුණා," යැයි ඇන්ඩෲස් පැවසීය.

"අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ කළු ජාතික විද්වතුන් ඇත්ත වශයෙන් ම මුහුණ දෙන අසීරු තත්ත්වය පිළිබඳව මෙය අවදිකරවනසුලු සංඥාවක් විය යුතු යි," යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

"විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු මෙතරම් විශාල මාධ්‍ය පරීක්ෂාවකට ලක් කිරීම මීට පෙර දකින්නට තිබුණු දෙයක් නොවන" බව කම්කරු පක්ෂයේ මන්ත්‍රීනි බෙල් රිබෙයිරෝ-ඇඩි එම වැඩසටහනේදී පැවසුවා ය.

ආර්ඩේ මුලින් ශාරීරික අධ්‍යාපන ගුරුවරයෙකු ලෙස සේවය කළ අතර, පසුව LJMU වෙතින් ආචාර්ය උපාධිය ලබාගෙන ඩර්හැම් විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්යවරයෙකු ලෙසත්, ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙසත් කටයුතු කළේ ය.

ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලය විසින් ආර්ඩේගේ පෙර අධ්‍යයන කටයුතු පිළිබඳ සමාලෝචනයක් ද ප්‍රකාශයට පත් කරන ලදී.

ඔහුගේ මරණය පිළිබඳ පුවත වාර්තා වූ විට, සිය හිටපු සගයෙකුගේ අභාවය පිළිබඳව තමන් "කම්පනයට හා ශෝකයට" පත්වූ බව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

"මෙම අතිශය ශෝකජනක අවස්ථාවේදී අපගේ සිතුවිලි සහ හෘදයාංගම ශෝකය ඔහුගේ මිතුරන් සහ පවුලේ සාමාජිකයන් වෙත යොමු වී තිබේ," යැයි එහි වැඩිදුරටත් සඳහන් විය.

ආර්ඩේගේ තවත් හිටපු සේවා යෝජකයෙකු වන ඩර්හැම් විශ්වවිද්‍යාලය ඔහුව විස්තර කළේ, "ආචාර්ය උපාධි අපේක්ෂකයින් සඳහා අවස්ථා ප්‍රවර්ධනය කිරීමට ක්‍රියාකාරීව උත්සහ කළ, කාරුණික සහ සුහදශීලී පුද්ගලයෙකු" ලෙස ය.

පසුගිය සති අන්තයේදී, ආර්ඩේ සිය මතක සටහන් (memoir) කෘතිය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් අවලංගු කළේ ය.

'Great And Unfortunate Things' නම් ග්‍රන්ථය එක්සත් රාජධානියේදී අගෝස්තු 27 වන දින ප්‍රකාශයට පත් කරන බව ප්‍රකාශක Simon & Schuster මීට පෙර පවසා තිබිණි. එය මෙම සතිය මුලදී එක්සත් ජනපදයේදී නිකුත් කෙරිණි.

මෙම පොත මගින් ඔහුගේ ජීවිත කතාව විස්තර කෙරේ: වයස අවුරුදු 11 වන තුරු කතා කිරීමට නොහැකිව සිටීම සහ 18 වන විය දක්වා කියවීමට හෝ ලිවීමට නොහැකිව සිටීම, ඉන්පසු "අවිශ්වසනීය ජයග්‍රහණ සහ හද කම්පාකරවන පසුබෑම්" රැසකට මුහුණ දීම සහ අවසානයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා ලෙස පත්වීම යන කරුණු ඊට ඇතුළත් ය.