ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නොපෙනෙන සතුන්, කතා කරන කිරි පැකට්: මනඃකල්පිත මිතුරන් දරුවන්ගේ මනස දියුණු කරන්නේ කෙසේ ද?
- Author, ඉසබෙල් හේවුඩ්
- Role, BBC News
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 7
මගේ ළමා කාලය පුරාවට ම මට හොඳ මිතුරන් රැසක් සිටි නමුත් ඉන් එක් මිතුරු කණ්ඩායමක් මගේ ජීවිතයට සැබවින් ම මතකයක් ඉතිරි කළේ ය.
කැපින්, මියා සහ හැනා කුඩා කාලයේ සිට ම මගේ සමීපතම මිතුරන් වූ අතර, අප එකට ගත කළ බොහෝ සතුටුදායක මතකයන් මගේ මතකයේ ඇත. උෂ්ණත්වය අධික ගිම්හාන දවස්වලදී අපි ඩේසි මල් මාල සාදමින්, අමුතු හැඩැති වලාකුළු දෙස බැලීම, දෑත්වලින් සිටගැනීම සහ කරණම් ගැසීම පුහුණු වීමට පැය ගණන් ගත කළෙමු.
අප වෙන් කළ නොහැකි සිව් දෙනෙකු වූ නමුත්, සාම්ප්‍රදායික වර්ගයේ නොවීමු: කැපින්, මියා සහ හැනා මගේ මගේ මනසේ මැවුණු චරිත තුනක් පමණි.
නමුත් මම ඔවුන්ව නිර්මාණය කළේ, මා පාළුවෙන් සිටි නිසා හෝ, ලැජ්ජාශීලී නිසා හෝ, සැබෑ ජීවිතයේ මිතුරන් හිඟ වූ නිසා නොවේ. ඇත්තට ම, වසර ගණනාවකට පසුවත්, ඔවුන් පැමිණියේ කොහි සිට ද හෝ ඇයි ද යන්න පිළිබඳව මට තවමත් විශ්වාසයක් නොමැත.
මගේ මිතුරන්ගේ ආරම්භය කුමක් වුව ද, මනඃකල්පිත මිතුරන් පිළිබඳ පර්යේෂණවලින් අදහස් කරන්නේ මම ඔවුන් ලැබීමට වාසනාවන්ත වූ බව ය.
කිරි පැකට් මිතුරා
එක්සත් ජනපදයේ ඔරිගන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාඥයින් වන නඕමි අගියාර් සහ මාර්ජෝරි ටේලර්ට අනුව ඔවුන්ට වයස අවුරුදු 7 වන විට, දරුවන්ගෙන් තුනෙන් දෙකකට මනඃකල්පිත මිතුරෙකු සිට ඇති අතර එය ඔවුන් විසින් නිර්මාණය කරන ලද ඔවුන් සමග අදහස් හුවමාරු කරන හෝ නිතිපතා කතා කරන චරිතයකි.
"මේ දරුවන්ට වෙනත් දරුවන්ට වඩා මිතුරන් අඩු නැහැ, ඔවුන්ට මනඃකල්පිත මිතුරන් නොමැති දරුවන්ට සමාන අන්‍යෝන්‍ය මිතුරන් පිරිසක් ඉන්නවා. දත්ත මගින් පෙන්නුම් කරන යථාර්ථය වන්නේ, ඔවුන් සෑම අතින් ම පාහේ අනෙක් දරුවන් වගේ කියන එක යි," මනෝවිද්‍යාඥවරියක සහ Imaginary Friends and the People who Create Them පර්යේෂණ කෘතියේ කතුවරිය වන අගියාර් පවසයි.
"දරුවන් බොහෝ දෙනෙකු මනඃකල්පිත මිතුරන් නිර්මාණය කරන්නේ ඔවුන් විනෝදජනක වන නිසා සහ ඔවුන් සමාජ අන්තර්ක්‍රියාවලට සැබවින් ම කැමති නිස යි," ඇය පවසයි.
නමුත් මෙම මවා ගන්නා ලද වර්ගයාට හුදෙක් මිතුරු සමාගමක් සැපයීමට ඔබ්බෙන් වූ ප්රතිලාභ ලබා දිය හැකි බව පර්යේෂණ මගින් යෝජනා කරයි.
මනඃකල්පිත මිතුරන් සිටින දරුවන් නිර්මාණශීලී කතන්දර කීමට දක්ෂ විය හැකි ය, ලැජ්ජාශීලී බව අඩු විය හැකි ය, මනඃකල්පිත දේවල්වලට වැඩි උනන්දුවක් දැක්විය හැකි ය, ඔවුන්ගේ අවධානය යොමු කිරීමට වඩා හොඳින් හැකියාව ඇත, තිර අඩුවෙන් භාවිත කරන සහ මනඃකල්පිත මිත්‍රත්වයන් නොමැති දරුවන්ට වඩා විචිත්‍රවත් මානසික ප්රතිරූප තිබිය හැකි ය.
මනඃකල්පිත මිතුරන් බොහෝවිට පෙනී සිටින්නේ දරුවෙකු තනිව සිටින විටදී ය - ගැඹුරු තනිකම නිසා නොව, එම මොහොතේදී ඔවුන් යම් මිතුරු සමාගමකට කැමති නිසා බව අගියාර් පවසයි.
සෑම මනඃකල්පිත මිතුරෙකු ම එහි ළමා නිර්මාණකරුට අනන්‍ය වන අතර ළමා කාලය පුරා ම දිස්වන නිරන්තරයෙන් වෙනස් වන රුචිකත්වයන් සහ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි බොහෝවිට වෙනස් කර ඇති බව අගියාර් පැහැදිලි කරයි.
ඇය වඩාත් ප්‍රිය කරන උදාහරණවලින් එකක් වන්නේ, නොපෙනෙන කිරි ඇසුරුමක් තම මිතුරිය ලෙස සලකාගත් කුඩා දැරියකගේ කතාව යි. අගියාර් පවසන පරිදි, ඒ කිරි පෙට්ටිය ඇයට මනුෂ්‍යයෙකු නොවී සිටීම කෙබඳු දෙයක් ද යන්න ඉගැන්වූ අතර, ඇය කිරි පෙට්ටියට මනුෂ්‍යයෙකු ලෙස ජීවත් වීම කෙබඳු ද යන්න ඉගැන්වූවා ය.
මගේ මනඃකල්පිත මිතුරන් මගේ හිත තුළ මතු වූයේ, වයස අවුරුදු තුනේදී පමණ ය.
හැනා සහ මියා බැලේ චිත්‍රපටයක ගැහැනු ළමුන් දෙදෙනෙකුගෙන් ආභාසය ලැබූහ. ඔවුන් කිසිදිනෙක ඇවිද ගියේ නැත, නිරන්තරයෙන් ම බැලේ නර්තනයක නියත චක්‍රයකට අනුව උඩ පනිමින්, පිමි පනිමින් සහ කැරකෙමින් පමණක් සිටි අතර ඔවුන් ගැලපෙන මෘදු රෝස පැහැති ලියෝටාර්ඩ්, කොට සාය සහ බැලේ සපත්තු පැළඳ සිටියහ.
නමුත් කැපින් පැමිණියේ කොහි සිට ද යන්න පිළිබඳ මට අදහසක් නැත.
ඔහු අපි තිදෙනාට වඩා වයසින් වැඩි අයෙකු වූ අතර, අළු පැහැති වලාකුළක් ඔහු පසුපසින් ඇදී යන්නාක් මෙන් පෙනෙන සුවිශේෂී ගෞරවණීය බවක් හා පරිණතභාවයක් ඔහු තුළ තිබිණි. අවශ්‍ය වූ විට සිතාබලා උපදෙස් දෙමින්, ඔහු බොහෝවිට මඳක් පසුපසින් සිටියේ ය.
වෙනත් අයගේ මනස පිළිබඳ ඉගෙනීම
''මට මනඃකල්පිත මිතුරෙකුගේ වැදගත් ම කොටස වන්නේ මනසක් නිර්මාණය කිරීම සහ එම මනස සමග සහයෝගයෙන් කටයුතු කිරීම යි," එක්සත් රාජධානියේ ලීඩ්ස් විශ්වවිද්‍යාලයේ සංවර්ධන මනෝවිද්‍යාව සහ මනෝ ව්‍යාධි විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය පේජ් ඩේවිස් පවසයි.
ඇතැම් ඒවා සැබෑ ජීවිතයේ පුද්ගලයන් හෝ පුද්ගලාරෝපණය කරන ලද වස්තූන් මත පදනම් වී ඇති අතර ඇතැම් ඒවා සතෙකු හෝ මනඃකල්පිත ස්වරූපයකින් නිර්මාණය වී ඇත.
ස්පාඤ්ඤයේ වැලෙන්සියා විශ්වවිද්‍යාලයේ මාර්ටා ගිමෙනෙස් ඩාසි සහ ඇගේ සගයන් සොයා ගත්තේ, මනඃකල්පිත මිතුරන් සිටි වයස අවුරුදු හතරේ සිට හය දක්වා දරුවන්, මනස පිළිබඳ න්‍යාය සහ චිත්තවේගීය අවබෝධය තක්සේරු කිරීමේදී, මනඃකල්පිත මිතුරන් නොමැති දරුවන්ට වඩා ඉහළ ලකුණු ලබා ගත් බව ය - එහි අදහස් වන්නේ මිනිසුන්ට තමන්ගේ ම විශ්වාසයන්ට වඩා වෙනස් විශ්වාසයන්, ආශාවන් සහ අභිප්රායන් ඇති බව ඔවුන්ට තේරුම් ගැනීමට හැකි වූ බව ය.
මෙම චිත්තවේගීය අවබෝධය ඇති වන්නේ, මනඃකල්පිත මිතුරන් ඇති කර ගැනීමේ ප්‍රතිඵලයක් ද, නැතහොත් එහි අනෙක් පැත්ත වන අන් අයගේ මනස පිළිබඳ උනන්දුවක් දක්වන දරුවන් මිතුරන් නිර්මාණය කිරීමට වැඩි ඉඩක් පවතින බව ද යන්න පැහැදිලි නැත.
මිත්‍රත්වය ප්‍රගුණ කිරීම
පරිකල්පිත මිතුරන් සිටීමෙන් ලැබෙන ප්රතිලාභ සාමාන්‍ය ස්නායු සංවර්ධනයක් ඇති (neurotypical) දරුවන්ට පමණක් නොව, අනෙකුත් දරුවන්ටත් අදාළ වේදැයි ඩේවිස් සහ ඇගේ සගයෝ විමර්ශනය කළහ.
ඔටිසම් රෝගයෙන් පෙළෙන දරුවන් සාර්ථක මිත්‍රත්වයක් ඇති කරගෙන පවත්වා ගෙන ගිය ද, සන්නිවේදනය, සමාජ අවබෝධය සහ චිත්තවේගීය අවබෝධය සඳහා ඔවුන්ගේ ප්‍රවේශය බොහෝවිට ඔවුන්ගේ ස්නායු වශයෙන් සමාන්‍ය සම වයසේ මිතුරන්ට වඩා වෙනස් වන අතර එය සබඳතාවලට බලපෑමක් ඇති කළ හැකි බව ඩේවිස් පවසයි.
එමෙන් ම, ඔවුන් බොහෝවිට පරිකල්පනීය සෙල්ලම්වල නිරත වන්නේ තරමක් වෙනස් ආකාරයකට වන අතර සාමාන්‍යයෙන් මවාගැනීම් වෙනුවට චිත්‍ර ඇඳීම වැනි ක්‍රියාකාරකම්වල නිරත වන බව ඩේවිස් පවසයි.
සියල්ල එක්වූ විට එක්ව, මෙයින් අදහස් කෙරෙන්නේ ඔවුන්ට මනඃකල්පිත මිතුරන් ඇති කර ගැනීමට ඇති නැඹුරුව අඩු විය හැකි බව ය.
කෙසේ වෙතත්, ඩේවිස් ඔටිසම් රෝගයෙන් පෙළෙන දරුවන් 124 දෙනෙකුගේ මව්පියන් සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වූ විට, ඇය සොයා ගත්තේ සහභාගී වූවන්ගෙන් 49%ක් ඔවුන්ගේ දරුවා වයස අවුරුදු 1ත් 11ත් අතර කාලයේදී මනඃකල්පිත මිතුරෙකු නිර්මාණය කරගෙන තිබූ බව වාර්තා කළ බව ය.
මෙම මිත්‍රත්වයන් හරහා, ඔටිසම් රෝගයෙන් පෙළෙන දරුවන් සමාජ අන්තර්ක්‍රියා පුහුණු වීමට අවස්ථාවක් නිර්මාණය කරන අතර, එය ඔවුන්ට අභියෝගාත්මක විය හැකි බව විශේෂඥයෝ පවසති.
"මනඃකල්පිත මිතුරෙකු නිර්මාණය කිරීම ගවේෂණය සඳහා අවදානම් රහිත වේදිකාවක් වෙන්න පුළුවන්," එක්සත් ජනපදයේ වෙල්ස්ලි විද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ට්‍රේසි ග්ලීසන් පවසයි.
"පරිකල්පිත මිතුරෙකු නිර්මාණය කළ ඔටිසම් සහිත දරුවන්ගේ දෙමාපියන්, එවැනි මිතුරෙකු නොතිබූ දරුවන්ගේ දෙමාපියන්ට වඩා තම දරුවාට අන් අයගේ සිතුවිලි, හැඟීම් හා අරමුණු තේරුම් ගැනීමේ හැකියාව වඩා හොඳින් තිබූ බව සඳහන් කළා," යැයි ඩේවිස් පවසයි. "තව ද, ඔවුන් කාලය ගත කිරීමට හෝ නව මිතුරන් ඇති කර ගැනීමට සැලකිය යුතු ලෙස වැඩි උනන්දුවක් දක්වා තිබුණා."
මනඃකල්පිත මිත්‍රත්වයන් දරුවන්ට ඔවුන්ගේ සීමාවන් වර්ධනය ආරම්භ කිරීමට, ඔවුන්ගේ සුවපහසු මට්ටම් තේරුම් ගැනීමට, දුෂ්කර සංවාදවල සැරිසැරීමට ඉගෙන ගැනීමට සහ ගැටලුවක් විසඳීමට පොදු පදනමක් ස්ථාපනය කිරීමට උපකාරී වේ.
අගියාර්ට අනුව, සැබෑ ජීවිතයේ අත්දකින සමාජ අත්දැකීම් බොහෝ විට දරුවන්ගේ පරිකල්පිත මිතුරන් තුළත් පිළිබිඹු වේ. ඒ සඳහා ඇය උදාහරණයක් ලෙස දක්වන්නේ, පාසලේ මිතුරෙකු තම ප්‍රියතම සෙල්ලම් ලොරිය නිතරම පැහැර ගන්නා බව පවසන දරුවෙකුය. එම දරුවාගේ පරිකල්පිත මිතුරා ද එම ලොරිය නිතරම රැගෙන යන චරිතයක් විය හැකි බව ඇය කියයි.
දරුවාගේ මනඃකල්පිත මිතුරා හරහා, ඔවුන්ට කෑ ගැසීමට, සමාව අයැදීමට හැකි අතර, අනතුරුව එකඟතාවක් බෙදා ගත හැක. දරුවා (ගැටලු විසඳීම) මෙහෙයවන නිසා, එය දරුවාගේ වර්ධන අවදියට සුදුසු යි" අගියාර් පවසයි.
ජීවිත කාලය පුරා සිටින මිතුරන්?
"මම හිතන්නේ (මනඃකල්පිත මිතුරුකම්) මුල් ළමාවිය හා සම්බන්ධ දෙයක් බවත් එසේ නොමැති නම් සංවර්ධනයේ කොටසක් නොවන බවටත් බොහෝ දෙනෙකු වැරදි වැටහීමක ඉන්නවා,'' ග්ලීසන් පවසයි. "නමුත් එය නව යොවුන් වියේදී සහ වැඩිහිටි වියේදී සිදු වෙනවා."
සමකාලීන විශේෂඥයින් යටතේ සමාලෝචනයට ලක්වෙමින් පවතින මෑතකාලීන අධ්‍යයනයකදී, ග්ලීසන් සොයා ගත්තේ, වැඩිහිටියන් රැසකට මනඃකල්පිත මිතුරන් සිටි බව ය. ඔවුන්ට මනඃකල්පිත මිතුරෙකු සිටින බව පැවසූ සහභාගි වූවන් 56 දෙනාගෙන් 68%ක් ම ඔවුන්ගේ මිතුරා නිර්මාණය කරගෙන තිබුණේ වයස අවුරුදු 20ට පෙර ය. සහභාගි වූවන්ගෙන් 30%ක් පමණ පැවසුවේ ඔවුන් ඔවුන්ගේ මනඃකල්පිත මිතුරා නිර්මාණය කර ගත්තේ වැඩිහිටි වියේදී බව ය.
වැඩිහිටියන් මිත්‍රත්වය සහ සමාජ සහයෝගයේ සිට බුද්ධිමය අනුකරණය, අභිප්‍රේරණය, සෙනෙහස, චිත්තවේගීය සමීපතාව, උපදෙස්, සදාචාරාත්මක ගැටලු විසඳීම සහ වැඩිහිටි වියේ දෛනික ආතතිය සමනය කිරීමට උපකාරී වන සැහැල්ලු විනෝදය සඳහා හේතු කිහිපයක් නිසා මනඃකල්පිත මිත්‍රත්වයන් නිර්මාණය කරගන්නා බව ග්ලීසන් පවසයි.
"එය සමාජය තුළ කටයුතු කිරීම, කණ්ඩායමක කොටස්කරුවෙකු වීම, ඔබේ රැකියාවෙහි දක්ෂයෙකු වීමට අදාළ දෙයක්," ග්ලීසන් පවසන වැඩිහිටියන්ට රැකියාවට අදාළ අවස්ථා පුහුණු වීමට ඒවා උදව් විය හැකි බව යෝජනා කරයි.
"ඔවුන් වර්ධනය වීමට සහ පරිණාමය වීමට ද උපකාරී වන අතර, ඔබට අවශ්‍ය කෙනෙකු වීමට සහ ඒ ජීවිතය ගත කිරීමට ද අවස්ථාව ලබා දෙනවා," ඇය තවදුරටත් පවසයි.
ඇතැම් මනඃකල්පිත මිතුරන් ළමා කාලය අවසානයේදී සමුගන්නා අතර ඇතැමුන් ළඟින් ම රැඳී සිටිමින් ජීවිතයේ සෑම අදියරකදී ම අත්වැලක් සපයයි.
කැපින්, මියා සහ හැනා මට අගනා ඇසුරක් ලබා දුන්හ. ආපසු හැරී බලන විට සිතෙන්නේ, එවකට පිළිතුරු අවශ්‍ය බව පවා මා නොදැන සිටි මගේ වර්ධනයේ ප්‍රශ්න සහ අවිනිශ්චිතතා හඳුනාගෙන ඒවාට මුහුණ දීමට ඔවුන් මට උපකාරී වූ බව ය.
නමුත් වයස අවුරුදු නවයේදී පමණ, මගේ නව යොවුන් විය ළං වන විට, කැපින්, මියා සහ හැනා අතුරුදන් වී මට මාව ම ආරක්ෂා කර ගැනීමට ඉඩ හැරියේ ය.
එකට තුරුළු වී, එකිනෙක වටා දඟර ගැසෙන වලාකුළු දෙස බලා සිටින අපව මවා ගන්නා විට, උණුසුම් හැඟීමක් මගේ පපුව පුරා පැතිර යයි.
හැනා සහ මියාගේ සිත් ඇදගන්නාසුලු බැලේ නර්තනය අතීතයට අයත් දේවල් බව මම දනිමි.
කැපින් පිළිබඳ පවසන විට, ඔහු නැවත පැමිණේ දැයි කීමට අපහසු ය. අනාගතයේදී මට ඔහුගේ මග පෙන්වීම අවශ්‍ය වන කාලයක් තිබිය හැකි ය. එය සිදු වුවහොත්, ඔහු ඔහුගේ අළු පැහැති ප්‍රඥාවේ වලාකුළ සමග පැමිණ මා වෙනුවෙන් සිටිනු ඇතැයි මට සිතෙයි.