ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'පෝද්දල ජයන්තව මතක නැහැ, බන්දුල පද්මකුමාර මතකයි': ගෝඨාභය රාජපක්ෂ අධිකරණය හමුවේ දුන් පිළිතුරු
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
මාධ්‍යවේදී කීත් නොයාර් සහ පෝද්දල ජයන්ත සුදු වෑන් රථවලින් පැහැරගෙන ගොස් පහර දුන් බව කියන සිදුවීම් කලකට පෙර සිදු වූ ඒවා බවත්, ඒ පිළිබඳව සවිස්තරව කරුණු දැක්වීමට තමන්ට මෙම අවස්ථාවේදී මතකයක් නොමැති බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති නඩුවකට සාක්ෂි දෙමින් සඳහන් කළේ ය.
2011 වසරේ මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබෙන නඩුකරයක සාක්ෂිකරුවෙකු වශයෙන් නම් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සාක්ෂි දෙමින් මේ බව පැවසීය.
නීතිඥයින්ගේ ප්‍රශ්නවලට ගෝඨාභය පිළිතුරු දුන් හැටි
මෙම නඩුකරය යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන අතර, ඊට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (නොවැ. 27) දෙවන දිනටත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ සාක්ෂි දුන්නේ ය.
එහිදී යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ සිට පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ ප්‍රශ්නයක් මතු කරමින්, "කීත් නොයාර් සහ පෝද්දල ජයන්ත යන මාධ්‍යවේදීන් පැහැරගෙන ගොස් පහර දීමේ සිදුවීම් පිළිබඳව ඔබ දැනුවත්ව සිටියා ද?" යනුවෙන් විමසීය.
ඊට පිළිතුරු දුන් ගෝඨාභය රාජපක්ෂ, "ස්වාමීනී, මේවා බොහෝ කලකට පෙර සිදු වූ සිදුවීම්. මේ අවස්ථාවේදී මට ඒ ගැන පැහැදිලි කිරීමේ හැකියාවක් නැහැ. පැහැර ගැනීම් හා පහර දීම් වුණා නම් ඊට අදාළ පැමිණිලි ඉදිරිපත් කළ පොලිස් ස්ථානවලින් පියවර ගන්න ඇති. හැම සිද්ධියක් ම මට වාර්තා වෙන්නේ නැහැ. ආරක්ෂක ලේකම් හැටියට මම කරන්නේ ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම යි. ආරක්ෂක කටයුතු ගැන ජනාධිපතිවරයාට උපදෙස් දීම, පිරිස් බලය වැඩි කිරීම වැනි කටයුතු සඳහන් කරන්න පුළුවන්. ඒ හැරුණුකොට විමර්ශන කිරීම මගේ වගකීම නෙවෙයි," යනුවෙන් සඳහන් කළේ ය.
නීතිඥ නුවන් බෝපගේ: මාධ්‍යවේදී පෝද්දල ජයන්තව ඔබ දන්නවාද?
ගෝඨාභය රාජපක්ෂ: නැහැ, ස්වාමීනී.
නීතිඥවරයා: ඔබ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර හඳුනනවා ද?
ගෝඨාභය රාජපක්ෂ: ස්වාමීනී, ඔහුව නම් දන්නවා.
නීතිඥ නුවන් බෝපගේ: 2009 වසරේ බන්දුල පද්මකුමාර සහ පෝද්දල ජයන්ත ආරක්ෂක අමාත්‍යාංශයට ඇවිත් ඔබ හමු වුණා නේද?
ගෝඨාභය රාජපක්ෂ: ඒක මතක නැහැ, ස්වාමීනි.
නීතිඥ නුවන් බෝපගේ: කීත් නොයාර් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන වාර්තාවක් මා ඔබට ඉදිරිපත් කරනවා. එහි සඳහන් වෙනවා කීත් නොයාර් පැහැරගෙන යාමේ සිද්ධියෙන් පසුව ඔබ එවක පොලිස්පති ජයන්ත වික්‍රමරත්නට සහ එවක බුද්ධි අංශ ප්‍රධානී හෙන්දාවිතාරණට දුරකතනයෙන් කතා කළ බවට.
ගෝඨාභය රාජපක්ෂ: ස්වාමීනී, පැහැරගෙන යාමක්, අතුරුදන් කිරීමක් වුණා ම ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ආයතන තියෙනවා. මට ඍජුව ම යමක් දැනුම් දුන්නොත් මම පොලිසියට සහ බුද්ධි අංශවලට කතා කරලා ඒක කියනවා.
නීතිඥ නුවන් බෝපගේ: මෙසේ පැහැරගෙන ගිය කීත් නොයාර් දොම්පේ ප්‍රදේශයේ රහසිගත නිවසක රඳවාගෙන සිට පසුව නිදහස් කළා. ඔහු නිදහස් කරන ලෙස ඔබ නියෝගයක් කිරීම නිසා නේද ඔහු නිදහස් කෙරුණේ?
ගෝඨාභය රාජපක්ෂ: සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරනවා, ස්වාමීනි.
නීතිඥ නුවන් බෝපගේ: 2015 වසරේ නොවැම්බර් මස 8 වැනිදා ඔබ සක්හඬ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන්නා නේද?
ගෝඨාභය රාජපක්ෂ: මතකයක් නැහැ, ස්වාමීනී.
නීතිඥ නුවන් බෝපගේ: ඔබ අදාළ පුවත්පතට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවේ හඬ පටයකුත් තිබෙනවා. එය වාදනය කරන ලෙස මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.
ගෝඨාභය රාජපක්ෂ: ඒ ගැන මතකයක් නැහැ, ස්වාමීනී.
ඉන් අනතුරුව අදාළ හඬ පටය විවෘත අධිකරණයේ වාදනය කරනු ලැබී ය.
නීතිඥ නුවන් බෝපගේ: මේ හඬ පටයේ අන්තර්ගත කරුණු ගැන ඔබ සඳහන් කළා ද?
ගෝඨාභය රාජපක්ෂ: ස්වාමීනී, මේක මට හරියට ම කියන්න බැහැ. හඬ පටයත් පැහැදිලි නැහැ. මේක මගේ ම ප්‍රකාශයක් ද කියලා කියන්න අමාරු යි.
නැවතත් අධිකරණය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ නීතිඥවරයා මෙම හඬ පටය නැවතත් වාදනය කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. ඒ අනුව අදාළ හඬ පටය නැවතත් වාදනය කිරීම සිදු විය.
එම අවස්ථාවේදී අදාළ හඬ පටයේ ලිඛිත පිටපතක් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කරමින් ප්‍රශ්නයක් මතු කළ නීතිඥවරයා, "එම හඬ පටයේ සඳහන් වෙනවා කුමාර් ගුණරත්නම් නමැත්තෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ඔබට තොරතුරු ලබා දුන් බවට. 'ජේවීපී එකට තදින් ම වුවමනාවක් තිබුණා එයාව අත්අඩංගුවට ගන්න. අනුර කුමාරත් කතා කරලා කියනවා එහේ ඉන්නවා මෙහෙ ඉන්නවා කියලා. පින්තූර එවනවා' යනාදි වශයෙන් එම සාකච්ඡාවේදී ඔබ ප්‍රකාශ කර තිබුණා නේද?" යනුවෙන් විමසීය.
ගෝඨාභය රාජපක්ෂ: ස්වාමීනී, මේ ගැන මට සවිස්තරව කියන්න පුළුවන්කමක් නැහැ. මේක මගේ ම ප්‍රකාශයක්ද කියලත් කියන්න අමාරුයි. සෑහෙන්න කලකට පෙර සිදු වූ දෙයක් ගැනයි මේ අහන්නේ.
මෙම ප්‍රශ්න කිරීම් සිදු වන අවස්ථාවේදී යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගෝඨාභය රාජපක්ෂගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, "ස්වාමීනී, පැමිණිලි පාර්ශ්වය විසින් මතු කරන ප්‍රශ්න බොහොමයක් මෙම නඩුකරයට සම්බන්ධ ඒවා නෙවෙයි. පිටස්තර කරුණු තමයි මේ විමසන්නේ," යනුවෙන් අවස්ථා කිහිපයකදී ම අධිකරණය හමුවේ සඳහන් කර තිබිණි.
ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි මස 12 වන දා දක්වා කල් තැබීමට අධිකරණය නියම කළ අතර, එදිනට ගෝඨාභය රාජපක්ෂට අධිකරණයේ පෙනී සිටින ලෙසත් අධිකරණය විසින් අවවාද කළේ ය.