ඩයනා ගමගේ අධිකරණය හමුවේ වරද පිළිගනී: ඉදිරි කටයුතු කුමක් වෙයි ද?

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 2

වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීමේ චෝදනාවට වරද පිළිගන්නා බව හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ය.

මෙම නඩුකරය අද (නොවැ: 26) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබිණි.

ඒ අවස්ථාවේදී විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මොහාන් සෙනෙවිරත්න අධිකරණයට දැනුම් දුන්නේ, විත්තිකාරිය අදාළ චෝදනාවට වරද පිළිගන්නා බව ය.

ඉන් අනතුරුව නඩුව සුළු වේලාවකට කල් තැබිණි.

දඬුවම් නියම කිරීම ජනවාරි 14 වන දා

ඒ අනුව, ඩයනා ගමගේට දඬුවම් නියම කිරීම සඳහා එම නඩුව ජනවාරි මස 14 වන දා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.

ඒ අනුව විත්තිකාර ඩයනා ගමගේ, පෙර ඇප මත මුදා හැරීමට නියෝග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විත්තිකාරියගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසත් නියෝග කළේ ය.

2015 වසරේ ජූලි මස 16 වන දා සිට 2016 වසරේ ජූලි මස 16 වන දා දක්වා කාල සීමාව තුළ වලංගු වීසා බලපත් නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආගමන හා විගමන පනත යටතේ හිටපු රාජ්‍ය අමත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව මෙම නඩුව ගොනු කරනු ලැබ තිබිණි.

මෙම නඩුකරය අද පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින විත්තිකාර ඩයනා ගමගේ අධිකරණය හමුවේ පෙනී සිටියා ය.