2026 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනූ පාලිත බණ්ඩාර යනු කවුද?

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනා ගැනීමට පැරා මලල ක්‍රීඩක පාලිත බණ්ඩාර සමත්විය.

ඔහු මෙවර ක්‍රීඩා උළෙලේ F42-F44/F63-F64 කාණ්ඩයේ කවපෙත්ත විසිකිරීමේ පැරා ඉසව්වට අද [ජූලි 30] අලුයම සහභාගි විය.

ඔහු එහිදී ප්‍රදර්ශනය කළ දක්ෂතාව මීටර් 46.84කි.

එමෙන් ම, මෙම තරගයේදී ඔහු ප්‍රදර්ශනය කළ දක්ෂතාව එම ඉසව්වට ඔහුගේ පෞද්ගලික හොඳ ම දක්ෂතාව ද විය.

කවපෙත්තට වඩා යගුලියට වැඩි දක්ෂතා දක්වන පාලිතට මෙවර ක්‍රීඩා උළෙලේදී එම ඉසව්ව අහිමි වූයේ මෙවර තරගාවලියට එම ඉසව්ව ඇතුළත් නොවීම හේතුවෙනි.

කෙසේ වෙතත්, තමන්ට තරග කිරීමට ලැබුණු ඉසව්වෙන් ක්‍රීඩා උළෙලේදී සාර්ථක ප්‍රතිඵලයක් ඉලක්ක කර ගැනීමට තමන් පුහුණුවීම්වල නිරත වන බව ක්‍රීඩා උළෙලට පෙර ඔහු අප සමග පැවසීය.

පාලිත බණ්ඩාර යනු කවුද?

1992 වසරේ සැප්තැම්බර් 9 වන දා මාතලේදී උපත ලබා ඇති පාලිත බණ්ඩාරට සහෝදරයෙක් සහ සහෝදරියක් සිටිති. ඔහුගේ පියා ගොවිතැනෙහි නිරත වන අතර මව ගෘහණියකි.

මාතලේ මිල්ලවාන මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අවධියේදී පාලිත වොලිබෝල් ක්‍රීඩාවට දක්ෂතා දැක්වීය.

2009 වසරේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවයට බැඳීමෙන් අනතුරුව ද ඔහු වොලිබෝල් ක්‍රීඩාවේ නිරත විය.

ඔහු ආබාධිත තත්ත්වයට පත්වූයේ, ඒ අතරතුරදී ය.

සාමාන්‍ය ක්‍රීඩකයෙකු වූ පාලිත පැරා ක්‍රීඩකයෙකු වූ හැටි

සාමාන්‍ය ක්‍රීඩකයෙකු ලෙස වොලිබෝල් ක්‍රීඩා කළ ඔහු ආබාධිත තත්ත්වයට පත් වූයේ, යුද්ධ හමුදා වොලිබෝල් තරගයක් අතරතුරදී ය.

2013 වසරේදී සිදුවූ එම ආබාධය, තමන්ගේ ක්‍රීඩා ජීවිතයට බාධාවක් වන්නට ඔහු ඉඩ දුන්නේ නැත. ඔහු ආබාධිත තත්ත්වයට පත්වීමෙන් පසු, පැරා මලල ක්‍රීඩා සඳහා යොමු විය.

2015 වසර වන විට ඔහු තමන්ට අහිමි වූ වොලිබෝලය වෙනුවට යගුලිය සහ කවපෙත්ත අතට ගත්තේ ය.

ඉතා කෙටි කලකින් ම යගුලියෙන් මෙන් ම කවපෙත්තෙන් ද ජාතික සහ ජාත්‍යන්තර තලය ජය ගැනීමට පාලිත බණ්ඩාර සමත් විය.

ජාතික සහ ජාත්‍යන්තර දක්ෂතා

2017 වසර වන විට F42 සහ F63 කාණ්ඩයේ යගුලිය සහ කවපෙත්ත විසිකිරීමේ පැරා ඉසව්වලට තරග කරමින් ඔහු ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබා ගත්තේ ය.

ඉන් වසරකට පසුව ඔහු ජාතික සංචිතයට ද ඇතුළත් විය.

2018 වසරේදී ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවති ආසියානු පැරා ක්‍රීඩා උළෙලට සහභාගි වූ පාලිත, යගුලිය විසි කිරීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගත්තේ ය.

එය ඔහු දිනූ පළමු ජාත්‍යන්තර පදක්කම ය.

2020 වසරේ සිට පාලිත පුහුණුවීම් කටයුතුවල නිරත වූයේ, ප්‍රභාත් ධනුෂ්ක පෙරේරා පුහුණුකරුගේ මග පෙන්වීම යටතේ ය.

2020 ටෝකියෝ පැරාලිම්පික් උළෙලේදී පාලිත, ඔලිම්පික් වරම් දිනා ගත්තේ ය. එහිදී යගුලිය විසිකිරීම ඉසව්වේ ශ්‍රේණිගතකිරීම් අනුව ඔහුට පස් වන ස්ථානය හිමි විය.

2022 වසර පාලිතගේ පැරා මලල ක්‍රීඩා ජීවිතයේ සුවිශේෂී වසරකි. එම වසරේදී බර්මිංහැම් නුවර පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී කව පෙත්ත විසිකිරීම ඉසව්වට තරග කළ පාලිත රිදී පදක්කම දිනා ගත්තේ ය.

ඔහු වාර්තා අතරට එක් වූයේ, පොදු රාජ්‍ය මණ්ඩලීය පැරා ක්‍රීඩා ඉසව්වකින් පදක්කමක් දිනූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ය.

2023 වසරේදී පැවති ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී යගුලිය විසි කිරීම ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට පාලිත සමත් විය.

2024 වසරේ ජපානයේ කෝබේ නුවර පැවති පැරා ලෝක ශූරතා මල්ල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ පාලිත ලෝකඩ පදක්කමක් දිනා ගත්තේ ය.

එම වසරේදී ම ප්‍රංශයේ පැරිස් නුවර පැවති පැරාලිම්පික් උළෙලේදී යගුලිය විසි කිරීමේ ඉසව්වට තරග කළ පාලිත පස් වන ස්ථානය හිමි කර ගැනීමට සමත් විය.

හෙල්ල විසිකිරීම ඉසව්වේ සුදුසුකම් ලැබීමේ වටයේ තරග අද

මේ අතර මෙවර පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වැඩි ම බලාපොරොත්තු සහිතව සිටින තීරණාත්මක ඉසව්වක මූලික වටයේ තරග අද පැවැත්වේ.

ඒ, රුමේෂ් තරංග සහ සුමේධ රණසිංහ සහභාගී වන හෙල්ල විසිකිරීම ඉසව්වේ සුදුසුකම් ලැබීමේ වටයේ තරගය ය.

මෙම තරගය අද [ජූලි 30] මෙරට වේලාවෙන් පස්වරු 2.55ට ආරම්භ වීමට නියමිත ය.

මෙවර ක්‍රීඩා උළෙලට සහභාගි වන හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයන් අතරින් හොඳ ම පුද්ගලික දක්ෂතාව මෙන් ම මෙවර තරග සමයේ ඉහළ ම දක්ෂතාව ප්‍රදර්ශනය කළ ක්‍රීඩකයා වන්නේ රුමේෂ් තරංග ය.

ඒ මීටර 92.62ක දක්ෂතාවක් ය.

සුමේධ රණසිංහ මෙවර තරග සමයේදී මීටර 80.66ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කර ඇත.

අද තරගයේදී ප්‍රදර්ශනය කරන දක්ෂතා අනුව හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ක්‍රීඩකයන්ට අවස්ථාව හිමි වේ.